Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රග්බි පුහුණුකරු කළකිරීමෙන් ගෙදර යයි

රග්බි පුහුණුකරු කළකිරීමෙන් ගෙදර යයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දෙසැම්බර් මස 12 වැනිදා සිංගප්පූරුවේදී ආරම්භ වන ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 20 න් පහළ රග්බි පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් මාටිස් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

වයස 20 න් පහළ රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ ආසියානු කළාපීය තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා 25 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය තේරීම සඳහා 30 දෙනකුගෙන් යුත් කී‍්‍රඩක පිරිසක් මාසයකට අධික කාලයක් තිස්සේ පුහුණුවීම්වල නිරතව සිටිති. එම සංචිතය නියෝජනය කරන ක‍්‍රීඩකයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් ක‍්‍රීඩා සමාජ දෙකක් නියෝජනය කරන අතර එම ක‍්‍රීඩකයන් පුහුණුවීම් සඳහා ක‍්‍රීඩා සමාජවලින් නිදහස් නොකිරීම හේතුවෙන් පුහුණුකරුවා සිය තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නාවික හමුදා පිල නියෝජනය කරන ක‍්‍රීඩකයන් 12 ක් සහ හැව්ලොක්ස් පිල නියෝජනය කරන ක‍්‍රීඩකයන් 7 ක් මෙම සංචිතයට ඇතුළත්ව සිටින බවත් එම ක‍්‍රීඩකයන් පුහුණුවීම්වලට නිදහස් නොකරන බවත් වාර්තා වේ.

සනත් මාටිස් මහතා සිය අස්වීමේ ලිපිය පෙරේදා (26) පස්වරුවේ පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතාට බාරදී තිබේ.  

මේ පිළිබඳව කළ විමසුමකදී සනත් මාටිස් මහතා පැවසුවේ බලධාරීන්ට ජාතික කණ්ඩායමකට වඩා ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් වැදගත් නම් තමන් මහන්සිවීම ප‍්‍රයෝජනයක් නොවන නිසා පුහුණුකරු ධූරයෙන් ඉවත් වූ බවයි.

”මා මේ පිළිබඳව සියලූම අංශ දැනුවත් කළා... වැඩක් වුණේ නෑ”
”ක‍්‍රීඩා බලධාරීන්ට ජාතික කණ්ඩායමක වැදගත්කම තේරෙන්නේ නැත්නම් ඒ කණ්ඩායම පුහුණුකිරීමෙන් මට වැඩක් නෑ” යැයි මාටිස් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම සංචිතයේ කී‍්‍රඩකයන් දියතලාවේ දින 10 ක පුහුණු සැසියකට සහභාගි වීමට පිටත්ව ගියද නාවික හමුදාවේ සහ හැව්ලොක්ස් කණ්ඩායම් දෙකම තමන්ගේ ක‍්‍රීඩකයන් ගෙන්වා ගැනීම නිසා පුහුණු කඳවුර දින 8 කින් අවසන් කිරීමට සිදුවිය.

ක‍්‍රීඩා සමාජ ඉල්ලා සිටීම නිසා ක‍්‍රීඩකයන් 21 දෙනකු නිදහස් කිරීමට සිදුවී තිබේ.
පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳව සියලූම උසස් බලධාරීන් දැනුවත් කළ ද කිසිදු සතුටුදායක පිළිතුරක් ලැබී නොමැති බවයි.

”රග්බි සංගමයේ නිලධාරීන්, ඒ වගේම ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් වැනි උසස් නිලධාරීන් දැනුවත් කළත් වැඩක් වුණේ නෑ”

”පුහුණු කටයුතු බාර ගන්න සහය පුහුණුකරු කැමතිත් නෑ. අපිට වෙන්නේ දැන් මේක අතඇරලා දාන්නයි. එයින් දරුවන්නටයි පාඩුවක් වෙන්නේ” යැයි මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

රග්බි පුහුණුකරු කළකිරීමෙන් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.