Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීය ක‍්‍රීඩකයෝ බ‍්‍රැඩ්බි පළමු අදියර ජය ගනිති

රාජකීය ක‍්‍රීඩකයෝ බ‍්‍රැඩ්බි පළමු අදියර ජය ගනිති

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ මහනුවර පල්ලෙකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී අද (09) පැවැති පළමු අදියර තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 23-22 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

මෙම තරග වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ අතර මෙම ජයග‍්‍රහණයත් සමඟ රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

ආරම්භයේ සිටම තරගය තියුණු ස්භාවයක් ඉසුලූ අතර පළමු අර්ධ අවසන් වන විට ලකුණු 12-10 ක් ලෙස ත‍්‍රිත්ව විදුහල පෙරමුණේ පසුවිය.

ජයග‍්‍රාහි රාජකීය විදුහල් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

ත‍්‍රිත්ව විදුහලට තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් පමණ තිබියදී මීටර 30 ක් පමණ දුර සිට ලැබුණු දඩුවම් පහර තුසිත පෙරේරා වෙතින් අසාර්ථක නොවන්නට තරගයේ ප‍්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණි.

පළමු අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී අනුක බෝලගොඩ සම්පූර්ණ කළ උත්සාහක දිනුම ටී. ගුණරත්න ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස පෙරමුණට එමින් ත‍්‍රිත්ව විදුහල ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය.

රාජකීය විදුහලට 21 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ඔවින් ඇස්කි සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-3 ක් බවට පත්විය.

රාහුල් කරුණාතිලක 26 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 12-3 ක් ලෙස ත‍්‍රිත්ව විදුහල තව දුරටත් පෙරමුණට පැමිණියේය.

රාජකීය විදුහල් නායක භානුක ගමගේ 31 වැනි මිනිතතුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඔවින් ඇස්කි අතිරේක ලකුණු 2 එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 12-10 ක් බවට පත්විය.

දෙවැනි අර්ධයේ පළමු මිනිත්තුවේදීම මහිම ගමගේ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් රාජකීය විදුහල 15-12 ක් ලෙස පෙරමුණෙන් තැබීය.

රාජකීය විදුහලට 8 වැනි මිනිත්තුවේදී සබීත් ෆරෝෂ් උත්සාහක දිනුමක් ද, 14 වැනි මිනිත්තුවේදී ඔවින් ඇස්කි දඩුවම් පහරක් ද, එකතු කරමින් ලකුණු තත්ත්වය 23-12 ක් බවට පත් කිරීමට සමත් වූහ.

ත‍්‍රිත්ව විදුහලේ තුසිත පෙරේරා 21 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහර ද, ජී. පෙතියාගොඩ 33 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම, තුසිත පෙරේරා ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග විනාඩි 7 ක් ඉතිරිව තිබියදී ලකුණු තත්ත්වය 23-22 ක් බවට පත්විය.

මෙම තරගය අදියර දෙකකින් සමන්විත වන අතර දෙවැනි අදියර මේ මස 23 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය. අදියර දෙකේ ලකුණු එකතුවෙන් ශූරතාව හිමිවේ.

 

රාජකීය විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර 71 වැනි ‘බ‍්‍රැඩ්බි පළිහ’ රග්බි තරගය

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

රාජකීය ක‍්‍රීඩකයෝ බ‍්‍රැඩ්බි පළමු අදියර ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.