Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීයයන්ගේ තල්ලුව නතර කිරීමට නම්

රාජකීයයන්ගේ තල්ලුව නතර කිරීමට නම්

Nisanka Sandeepani - 2017 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුපුරුදු ක්‍රීඩා බලකොටුවේ තමන්ගේම ක්‍රීඩාලෝලීන් බහුතරයකගේ ඔල්වරසන් හඬ මැද 73 වැනි බ්‍රැඞ්බි පළිහ අත්පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සිය සම්ප්‍රදායක පසමිතුරන් වන මහනුවර ත්‍රිත්ව විදුහල් පිලට එරෙහිව හෙට (3) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයට පිවිසෙයි. 

මීට සති දෙකකට පෙර මහනුවර ත්‍රිත්ව විදුහල් බලකොටුව වූ පල්ලෙකැලේ පිටියේ පැවැති බ්‍රැඞ්බි පළිහ පළමු තරගයෙන් ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 22-17 කින් පරාජය කිරීමට ඕවින් අස්කේගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් පිල සමත්විය. එසේ වුවත් කිලෝමීටර් 120 කට වැඩි දුරක් ගෙවමින් ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන් හෙට කොළඹට පැමිණෙන්නේ ආපසු හිස් අතින් ගෙදර යාමේ හිතකින් නොවන බව ඉඳුරාම පැවැසිය හැකිය. 

සුප්‍රකට බ්‍රැඞ්බි පළිහ හෙට දිනයේදී කිසිදු බාධාවකින් තොරව අතට ගැනීමට රාජකීයයන් සමත්වනු ඇතැයි කිසිවකු සිතන්නේ නම් එය වැරැදි හැඟීමකි. ත්‍රිත්ව විදුහලේ නැගිටීම හිටි හැටියේම සිදුවන්නකි. ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන්ගේ අනපේක්ෂිත පිබිදීම ගැන බ්‍රැඞ්බි ඉතිහාසය හාරා ඇවිස්සීමේදී වැඩි ඈතකට නොගොසින්ම කදිම නිදසුනක් සොයා ගත හැකිය. 

වසර 2011 තරගය ආරම්භ වෙද්දී පිට පිටම දෙවතාවක් බ්‍රැඞ්බි පළිහ දිනා සිටියේ රාජකීය විදුහල් පිලයි. නමුත් 2011 දී මුරාඞ් රම්සීන්ගේ නායකත්වයෙන් යුතු ත්‍රිත්ව විදුහල් පිල එවර පළිහ අත්පත් කරගත්තේ පළමු තරගය ලකුණු 33-25 කින් දිනා සිටි රාජකීය විදුහල් පිල දෙවැනි තරගයේදී අනපේක්ෂිත ආකාරයට ලකුණු 40-5 කින් පරාජයට පත් කරමිනි. එදා අත්කර ගත් බ්‍රැඞ්බි පළිහ 2015 දී භානුක ගමගේ යටතේ රාජකීයයන් දිනාගන්නා තුරු වසර 4 ක්ම රැකගැනීමට සමත්වූයේ ද ත්‍රිත්ව විදුහල් කණ්ඩායමයි. 

එබැවින් හෙට තරගය සිය බලකොටුවේ පැවැත්වීමේ වාසිය මුලුමනින්ම රාජකීයයන්ට ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. අනිත් අතට ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයන්ගේ මුලු බර සළකා බැලූ විට එය රාජකීය විදුහලේ ක්‍රීඩකයන්ට වඩා කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයකින්ම වැඩිය. තරගයට අවතීර්ණවීමේදි ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන්ගේ ශූරත්වය කදිමට පිළිබිඹු වෙයි. එහෙත් ඔවුන්ගේ දුර්වලතාව වී ඇත්තේ තරගයක් සාර්ථකව නිමා කිරිමට තරම් ඉහළ හැකියාවක් පෙන්නුම් නොකිරීමයි. 

ඒ අතින් රාජකීයයෝ ඉදිරියෙන් පසුවෙති. නියමිත තරග සැලසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ඇදගෙන යාමේ රුසියෝ වෙති. පන්දුව අතට ලැබුණු සැණින් ගත යුතු පියවර ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් මනාව ප්‍රගුණ කර තිබේ. ප්‍රතිවාදී ක්‍රීඩකයකුට රිංගා යා හැකි තරමේ හිඩැසක් ඔවුන්ගේ ආරක්ෂක වළල්ලේ නැති තරම්ය.  එහෙත් ඒ සියල්ලටම වඩා කැපී පෙනෙන්නේ රාජකීයයන් පසුගිය කාලය පුරාම සාර්ථක ඵල නෙලා ගත් ඔවුන්ටම ආවේනික උපක්‍රමය වන එක පොදියට දෙපිලම පන්දුවට පොර බඳිද්දී එම පොකුර ප්‍රතිවාදීන්ගේ සීමා ඉර වෙත තල්ලු කරගෙන යාමට දක්වන විශිෂ්ට හැකියාවයි. 

එදා පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු තරගයේදිත් එය මනාව පෙන්නුම් කෙරිණි. පන්දුව ඇත්තේ කවුරු අතදැයි කොටින්ම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට දැකගැනීමටවත් බැරිය. එය දකින විට රාජකීයයන් උත්සාහක දිනුමක් තබා අවසානය. 

ත්‍රිත්ව විදුහලට මෙවර බ්‍රැඞ්බි පළිහ අත්කර ගැනීමට නම් සහතිකවම රාජකීයයන්ගේ එම හැකියාව නතර කිරීමට උපායක් කල්පනා කළයුතුව ඇත. ත්‍රිත්ව විදුහලේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙන්නේ ඒ උපාය මතය. 

 


අදහස් (0)

රාජකීයයන්ගේ තල්ලුව නතර කිරීමට නම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.