රාජකීයයෝ ඉසිපතනය බිමටම ඇද දමති
පාසල් කීර්තිමත් ඉතිහාසයක් හිමි ඉසිපතන විදුහල් පිල එහෙම පිටින්ම සෙල්ලමකට ගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ ඊයේ පැවැති තරගයෙන් ලකුණු 41-7 ක පහසු ජයක් වාර්තා කළේය. රාජකීයයන්ගේ මෙම වික්රමය නිසා මෙවර පාසල් ක්රිකට් වාරයේදී සිය අපරාජිතභාවය තව දුරටත් රැක ගැනීමටද රාජකීයයෝ සමත් වූහ.
තනිකරම ඒකපාර්ශ්වික තරගයක් බවට පත්වූ මේ තරගයේ දී උත්සාහක දිනුම් 7කින්ම ඉසිපතනය බිමට සමතලා කළ රාජකීයයෝ දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මේජර් මිල්රෝයි ප්රනාන්දු අනුස්මරණ කුසලානය අවුරුදු දෙකකට පසුව සියතට ගත්හ.
තද වැසි සහිත කාලගුණයක් මැද හැව්ලොක්ස් ක්රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේදී දෙපිලේහිම ක්රීඩකයන් හඳුනා ගැනීමට පවා අපහසු ආකාරයෙන් ඔවුහු මඩින් නැහැවී සිටියහ. ඒ සියලු බාධක අතරින් සිය දස්කම් ඉහළට ඔසවා තැබූ රාජකීයයන් තරගයේ ජයග්රහණය කරා රැගෙන ගියේ නායක සාබිත් ෆෙරෝස් විසිනි.
ඔහු තරගයේ පළමු භාගයේදී එක් උත්සාහක දිනුමකුත්, දෙවැනි භාගයේදී තවත් උත්සාහක දිනුම් දෙකකුත් තබා තරගය පුරා උත්සාහක දිනුම් ත්රිත්වයක් වාර්තා කිරීමට සමත්විය.
මුබීන් ෆලීල් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබගැනීම ආරම්භ කළ රාජකීයයෝ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 22-0 කින් පෙරමුණ ගත්තේ ඉසිපතනය දැඩි පීඩනයකට ඇද දමමිනි. ඒ අතරතුර කාලයේදී සාබිත් ෆෙරෝස්, තුලේබ් හසන් සහ ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් තබමින් රාජකීය පිල ඉහළට ඔසවා තැබූහ.
fදැවැනි භාගය ආරම්භ වී පස්වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ ෆෙරෝස් ඊළඟට තවත් මිනිත්තු කිහිපයකට පසුව උත්සාහක දිනුම් ත්රිත්වය වාර්තා කළේය. ඒ දෙකම ගෝල බවට ප්රවර්තනය කළ දුලාන් ගුණවර්ධන රාජකීය විදුහල් පිල ලකුණු 36-0 කින් ඉදිරියට ගෙන ගියේ පහසු ජයග්රහණයකට මං විවර කරමිනි.
තරගයේ ජයග්රහණය පහසුවෙද්දී බංකුවේ සිටින සෑම ක්රීඩකයකුටම මේ ජයග්රහණයේ පහස භුක්ති විඳීමට සැරසූ රාජකීය නායකයා අතිරේක ක්රීඩකයන් සෑම දෙනකුටම ක්රීඩා කරන්නටද අවස්ථාව දුන්නේය. අන්තිමේදී ඔවුන්ගේ 7 වැනි උත්සාහක දිනුම තැබූ අතිරේක ක්රීඩක රජිඳු ජයසූරිය ජයග්රහණය තහවුරු කළේය.
අන්තිම මොහොතේ ඉසිපතනයේ ලකුණු ඉඩෝරය නිමා කළ මනෝජ් ගෞතම් උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර නායක මනිල්ක රුබේරු එය ගෝලයක් බවට ප්රවර්තනය කළේය.
රාජකීය විදුහල 41 යි.
■ උත්සාහක දිනුම් 7යි - සාබිත් ෆෙරෝස් (3), මුබීන් ෆලීල්, ජනිඳු ඩිල්ෂාන්, තුලේබ් හසන්, රජිඳු ජයසූරිය
■ ප්රවර්තන - දුලාන් ගුණවර්ධන (3)
ඉසිපතන විදුහල 7යි
■ උත්සාහක දිනුම් 1යි. මනෝජ් ගෞතම්
■ ප්රවර්තන - මනිල්ක රුබේරු
ඡායාරූප : ප්රියන්ත වික්රමාරච්චි (ද සන්ඬේ ටයිම්ස් අනුග්රහයෙනි)