Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීයයෝ ලීග් ශූරතාව දිනති

රාජකීයයෝ ලීග් ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 32-13ක විශිෂ්ට ජයක් ලැබූ අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන කොළඹ රාජකීය විදුහල ලීග් ශූරතාව දිනාගැනීමට සමත්විය. වසර 10කට පසුව පිට පිට දෙවතාවක් ලීග් කිරුළට හිමිකම් කී පළමු කණ්ඩායම ලෙසත් රාජකීය විදුහල් පිල වාර්තාපොතට එක්විය.

අද (09) පස්වරුවේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන බී.සී. ඇන්ජි කුසලානයත් රාජකීය විදුහලට හිමිවිය. ඔවුන් බී.සී. ඇන්ජි කුසලානය අත්කර ගත්තේ පිට පිට සිවුවැනි වතාවටය.

තරගයේ 6 වැනි මිනිත්තුවේදී ෆුල්බෑක් ක්‍රීඩක ශෙහාන් ලියනපතිරණ මීටර 40ක දුරක සිට එල්ල කළ සාර්ථක දඬුවම් පහරකින් ලකුණු 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත පීතර විදුහල සමත්වුවත් ඊට මොහොතකට පසුව සුපුරුදු ‘රෝලින් මෝල්‘ අවස්ථාවක් සාර්ථක කරමින් හූකර් ක්‍රීඩක ඉර්ෆාන් ෆරීඞ් තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ෆුල් බෑක් ක්‍රීඩක දුලාන් ගුණවර්ධන ලකුණු 7-3ක් ලෙස රාජකීය විදුහලට පෙරමුණ ගෙන දුන්නේය.

අනතුරුව පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර නායක සාබිත් ෆෙරෝස් ලබා දුන් පන්දුව සාර්ථකව ඩැහැගත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක මුබින් ෆලීල් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු 12-3කින් ඉදිරියට යාමට රාජකීයයෝ සමත්වූහ. දුලාන් ගුණවර්ධන එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට අසමත්විය.

දෙවැනි භාගයේ ආරම්භයේදී නැවත සාර්ථකව තරගයට අවතීර්ණ වූ ශාන්ත පීතර විදුහල ලකුණු පරතරය 12-10ක් ලෙස අඩුකරගැනීමට සමත්විය. එය සිදුවූයේ ප්‍රොප් ෆෝර්වඞ් ක්‍රීඩක අබ්දුල්ලා ෆායිස් තැබූ අගනා උත්සාහක දිනුමක් ශෙහාන් ලියනපතිරණ විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීම නිසාය.

එහෙත් ඊළඟ මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ ඉර්ෆාන් ෆරීඞ් රාජකීය විදුහල් පිල ලකුණු 17-10කින් ඉදිරියට ගෙන ගියේය. මොහොතකට පසුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් ශෙහාන් ලියනපතිරණ ශාන්ත පීතර විදුහලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දැමුවේය.

තරගයේ 55වැනි මිනිත්තුවේදී නායක සාබිත් ෆෙරෝස් තැබූ අගනා උත්සාහක දිනුම දුලාන් ගුණවර්ධන ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 24-13කින් ඉදිරියට ගිය රාජකීය විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු වූයේ ඊට මිනිත්තු දෙකකට පසුව පසිඳු ප්‍රනාන්දු තැබූ උත්සාහක දිනුමෙන්ය. තරගය නිමාවීමට මිනිත්තු කිහිපයකට පෙර දුලාන් ගුණවර්ධන දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය.

ලීග් කුසලානය පිරිනැමීමේ අවස්ථාවට තරගාවලියේ පූර්ණ අනුග්‍රාහක සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර, ලේකම් නිරෝධ විජේරාම යන මහත්වරු සමග දෙවිදුහලේ විදුහල්පතිවරුද සහභාගීව සිටියහ.
 
බී.සී.ඇන්ජි කුසලානය රාජකීය විදුහල් පිලේ නායක සාබිත් ෆෙරෝස් වෙත පිරිනමනු ලැබුවේ ඇන්ජි මහතාගේ පුත්‍රයකු වූ අන්තෝනි ඇන්ජි මහතා විසිනි.

A B C D E F G

- 077

රාජකීය - පීතර පළමුපෙළ රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ගයාන් අමරසේකර

 

 


අදහස් (0)

රාජකීයයෝ ලීග් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.