Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner විද්‍යා විදුහල ඉසිපතනය පරදා ජනාධිපති කුසලානය දිනයි

විද්‍යා විදුහල ඉසිපතනය පරදා ජනාධිපති කුසලානය දිනයි

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ අද (12) සමත් වූහ. අනු ශූරතාව කොළඹ ඉසිපතන විදුහලට හිමිවිය.
 
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ පැවැති අවසන් මහ තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය පිල ලකුණු 21-18 කින් ප‍්‍රබල ඉසිපතන විදුහල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් විය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ‘ජනාධිපති කුසලාන’ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට පළමු වරට සුදුසුකම් ලබමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙවර ලීග් තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වූ විද්‍යා විද්‍යාලය මෙවර ලීග් අනු ශූරයන් මෙන්ම පසුගිය වසරේ ‘ජනාධිපති කුසලාන’ ශූරයන් වන ඉසිපතන විදුහල පරාජය කරමින් ශූරයන් වීම කැපී පෙනුණි.

අවසන් මහ තරගයේ දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුව හෙවත් තරගය අවසන් වීමට මිනිත්තු 15 ක් තිබියදී සජිත් සිල්වා විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුම තරිදු මධුරංග ගෝලයක් බවට ප‍්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමග ලකුණු 21-18 ක් ලෙස තීරණාත්මක ලෙස විද්‍යා විද්‍යාලය පෙරමුණට පැමිණියේය.

ලසිඳු කරුණාතිලක නායකත්ව දුන් විද්‍යා විද්‍යාල පිල තරගය ආරම්භයේ සිටම ප‍්‍රබල ඉසිපතන විදුහල් පිල බලාපොරොත්තු නොවූ අභියෝගයක් යොමු කළේය.

විනිසුරු ඉර්ෂාඞ් කාදර් මහතාගේ පළමු නලා හඩ නිකුත් වී දෙවැනි මිනිත්තුවේදී ඉසිපතන විදුහලේ රෙහාන් සිල්වා සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.

සිවුවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කිරීමත් සමඟ ඉසිපතන විදුහල ලකුණු 8-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

විද්‍යා විද්‍යාලයීය සටන අරඹමින් තරිඳු මධුරංග 10 වැනි මිනිත්තුවේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයන් මගහරිමින් ගෝල කණු අතරින් පන්දුව තබමින් ප‍්‍රවර්ථනය ද ඔහුම සාර්ථක කරමින් ලකුණු පුවරුව 8-7 ක් බවට පත්කිරීමට සමත් විය.

විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ එතැන් සිට ග‍්‍රහණය තවත් වැඩි කිරීම නිසා මිනිත්තු 29 ක් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක නොවීය.

චතුර ඩිල්ෂාන් 39 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමගින් ලකුණු 15-7 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.

දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී ඉසිපතන විදුහලට ලැබුණු දඩුවම් පහර ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 18-7 ක් බවට පත්විය. ඒත් සමගම ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 3000 කට අධික ඉසිපතන විදුහල් සුබපතන්නන්ගේ ප‍්‍රිතිඝෝෂාව වැඩි වූහ.

විද්‍යා විද්‍යාලය මෙම වසර තුළ ලැබූ ජයග‍්‍රහණ රැසක දැවැන්ත කොස්කරුවකු වූ හෂාන් මධුමාධව දෙවැනි අර්ධයේ 22 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තරිඳු මධුරංග ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 18-14 ක් බවට පත්ව විද්‍යා විද්‍යාලයීය උද්යෝගය තවත් වර්ධනය විය.

තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස විද්‍යා විද්‍යාලයේ නිෂාද් ධනංජය ද, ජනප‍්‍රියම ක‍්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ භානුක රත්නායක ද, සම්මාන ලැබූහ.   

අවසන් මහ තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ක‍්‍රීඩා සභාවේ වර්තමාන සභාපති, ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපවරයකු වන විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා සහභාගි විය.  

 

විද්‍යා - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (0)

විද්‍යා විදුහල ඉසිපතනය පරදා ජනාධිපති කුසලානය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.