Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner වර්තමාන සාර්ථකත්වයේ රහස කැපවීමයි - ධනුෂ්ක රන්ජන්

වර්තමාන සාර්ථකත්වයේ රහස කැපවීමයි - ධනුෂ්ක රන්ජන්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජීවිතේ පැය 24 ක්‍රීඩාවට කැප කිරීමට සෙමින් සෙමින් පුරුදු වෙමින් සිටීම නිසා ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලට සාර්ථක වීමේ අවස්ථාව ලැබී ඇති බව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායක ධනුෂ්ක රංජන් පැවසීය.


ආසියානු සත් සමාජික රග්බි තරගමාලාවේ පැවැති අදියර දෙකේම අනු ශූරයන් වූ ශ්‍රී ලංකා පිල මේ මස 15 සහ 16 දෙදින තෙවැනි සහ අවසන් තරගාවලිය ශ්‍රී ලංකාවේදී සහභාගි වීමට නියමිතය.

එම තරගාවලිය පිළිබඳව කළ විමසුමේදී ධනුෂ්ක මෙසේ අදහස් පළ කළේය.

“අපි පසුගිය තරගාවලියට දෙකටම ගියේ අවසන් මහ තරගය ජය ගන්න. අපිට අවසන් මහ තරග ආමාරු වුණා. නමුත් මේ තරගාවලියට අපි එන්නේ අවසන් මහ තරගය දිනන්නමයි. බැහැයි අපි පොඩි ආරම්භයක් ලබා ගන්නේ”

“අපිට පසුගිය තරගාවලියේදී අවසන් තරගය ටිකක් ආමාරු වුණා. එහිදී හොං කොං පිලේ ඉදිරි පෙළ ප්‍රබල තත්ත්වයක තිබුණා. එවැනි ඉදිරි පෙළකට මුහුණ දෙන්න සූදානම් වෙලා තමයි අපි එන්නේ”

“අපි මේ වන විටත් සැළැස්මක් සකස් කරලා තියෙන්නේ. පසුගිය තරගාවලිවල සැළැස්මවල වෙනස්කම් දෙක තුනක් කරලත් තියෙනවා”

පැවැති තරගාවලි දෙකේම අවසන් මහ තරග දෙකම හොං කොං පිල හමුවේ පරාජයට පත්වීම පිළිබඳව කළ විමසුමකදී ධනුෂ්ක රංජන් මෙසේ පැවසීය.

“පළමු තරගාවලියේ අවසන් තරගයේදී තරගයේ විනාඩි 14 න් 10 ක් විතර අපි දිනලා හිටියේ. අන්තිම මොහොතේ තමයි පැරදුණේ”

“නමුත් කොරියාවලදී අපි ආරම්භයේ සිටම පැරදිලා හිටියේ. ඒ මොකද අපේ හොඳ තැන් දෙවැනි තරගාවලිය වන විට හොං කොං පිල හදුනාගෙන හිටියා. අපි තරගාවලියේ දිනපු තැන් එයාලා වැලැක්වුවා. එකක් තමයි ‘කික් ඕෆ්’. පළමු තරගාවලියේ අවසන් තරගයේදී ‘කික් ඕෆ්’ දෙකකින් තමයි අපි උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේ. අපේ ඇටෑක් එක වැඩි නිසා අපිට එකම අවස්ථාවක්වත් ඔවුන් දුන්නේ නෑ”

පළමු තරගාවලියේදී චීනය පරාජය කළ ද දෙවැනි තරගවලියේදී චීන හමුවේ පරාජයට පත්වීම පිළිබඳව මෙසේ පැවසීය.

“පළමු තරගයේදී චීනයට එරෙහිව තරග කළේ අවසන් පූර්ව තරගයේදීයි. ඒ නිසා අපි උපරිමයෙන් ගැහුවා.

දෙවැනි තරගාවලියේ චීන මුණගැසුණේ පළමු වටයේදී ඒ උනත් අපි උපරිමයෙන් ගැහුවා අන්තිම මොහොතේ තමයි පරාජය වුණේ. මෙම තරගාවලියේදීත් චීනය අපේ කාණ්ඩයේ ඉන්නවා. චීනෙට ගහලා පළමු වටයේදී පළමු ස්ථානය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ”

දකුණු කොරියාවේදී අවසන් පූර්ව තරගයේදී දකුණු කොරියාව පරාජය කිරීම පිළිබඳව ධනුෂ්ක මෙසේ අදහස් දැක්වීය.

“අපි ඒ තරගයට ගියේ දිනනවායි කියන මානසකත්වයෙන් තමයි. ඔවුන් පළමු දිනයේ හොං කොං පිලට ගහලා හිටියේ. අපි ඒ තරගයට ගියේ අවසන් තරගය අමතක කරලා. අපිට තව තරගයක් නෑ. හැබැයි මේ පියවර උඩට තියනවා කියලා. අපි ගැන අපිවත් හිතපු නැති විදියට ක්‍රීඩා කළා. කොරියාවේදී ඔවුන්ව එහෙම පරාජය කිරීම ලොකු දෙකක්, එතනින් එහාට පියවර තැබීම තමයි දැන් කළ යුත්තේ”

“ඒ තරගයේදී අපි ගොඩක් අපි අපේ සැළැස්මට අනුව ගියා. සැළැස්මෙන් පිටත මුකුත් කළේ නෑ. අපිට වෙනස් කරන්න අවස්ථාව තිබුණත් කළේ නෑ. එහිදී අපේ ඉදිරි පෙළ විශේෂයෙන් තරින්ද, සූරි (ශ්‍රීනාත් සූරියබණ්ඩාර), රිචඞ් ඇතුළු ඉදිරි පෙළ ක්‍රීඩකයෝ හොඳටම ක්‍රීඩා කළා”

පළමු සහ දෙවැනි අදියර දෙකේදීම අනු ශූරයන් වීමට විශේෂ වෙනස්කම් කලේ ද යන ප්‍රශ්නයට ධනුෂ්ක මෙසේ පිළිතුරු සැපයීය.

“අපේ රග්බිවල නෙවෙයි ප්‍රශ්නෙ තිබුණේ. අපේ සංස්කෘතියයි, අපේ කෑමයි, අපි පුහුණුවීම් කරන ආකාරය යන දේවල්වල තමයි ප්‍රශ්නේ තිබුණේ”

“රග්බි දැනුම අපිට වෙනත් රටවල්වල ක්‍රීඩකයන් වඩා තියෙනවා. කෑම එකේ සිට වතුර එක දක්වා අපි දැන් වෙනස් වෙලා ඉන්නේ’

“රග්බි පිටියේ ක්‍රීඩා කළාට මදී, එළියේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ. තමන්ගේ ජීවිතේ පැය 24 ක්‍රීඩාවට කැප කරන්න ඕනේ. අපි එයට සකස්වෙමින් සිටින නිසා තමයි පියවරෙන් පියවර ඉදිරියට යන්නේ”
“පුහුණුවීම් කරලා කන බොන ආකාරයත් සෙමින් සෙමින් වෙනස් කරලා තියෙන්නේ”

ශ්‍රී ලංකාවේදී පැවැති සත් සාමාජික රග්බි තරගාවලිවලට ෆීජි, සැමෝවා වැනි විදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කිරීමෙන් ලැබුණු ප්‍රයෝජනය මෙසේ විස්තර කළේය.

“ශ්‍රී ලංකාවේ තරගාවලිවලට විදේශිය ක්‍රීඩකයෝ එනවා. එහිදී අපි අපේ ක්‍රීඩකයොත් එක්ක මිශ්‍ර වෙලා හැප්පෙන්නේ විදේශිය ක්‍රීඩකයොත් එක්ක. අපි මීට වසර දෙක තුනකට පෙර සත් සාමාජික රග්බි ආරම්භ කරන විටම ඒක ලොකු වාසියක් බවට පත්වුණා. ඒ විදේශිය ක්‍රීඩකයොත් එක්ක ආසියාවේ කව්රුත් හැප්පෙන්නේ නෑ.

අපේ රටට ඒ ක්‍රීඩකයෝ ඇවිල්ලා තරගවලට සහභාගි වීමෙන් අපිට ලොකු වර්ධනයක් ඇති වෙනවා”
“අපිට ඒ අයගෙන් වේගය ගන්න ඕනේ නෑ. එයාලට වඩා අපි වේගවත්. ඒ ක්‍රීඩකයෝ අපිට වඩා ගොඩක් ශක්තිමත්, අපිට එයාලට ටකල් කරලා ඩිෆෙන්ස් ගන්න පුළුවන්. එම ක්‍රීඩකයන්ට ඩිෆෙන්ස් ගැහුවම ආසියාවේ ක්‍රීඩකයන්ට ටකල් කරන්න පහසුයි”

“ආසියානු කළාපයේ ක්‍රීඩකයන් ඇටෑක් කරන විදියට නෙවෙයි ෆීජි ක්‍රීඩකයෝ ඇටෑක් කරන්නේ. සම්පූර්ණ ශරීරයෙන්ම ඔවුන් ඇටෑක් කරනවා. ඒ වගේ ක්‍රීඩකයන් ඩිෆෙන්ස් කරලා අපි ආසියානු තරගාවලියකට යන විට පහසුයි”

“අපි ඩිෆෙන්ස් කළේ ෆීජි ක්‍රීඩකයෝ ඒ නිසා මෙයාලව පුළුවන් යන හැගීම ඇති වෙනවා”

“පළමු තරගාවලියට එනවිට අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් අහිමිවුණා. ෆාෂීල්, නයිජල්, වීරෙ, ලෙමා, සූරි, කාංචන, විල්වර ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ 10 ක් විතර නැති වුණා. තරුණ කණ්ඩායමක් තමයි ගියේ. නමුත් ඒ ක්‍රීඩකයෝ ඉතාමත් මහන්සිවෙලා ක්‍රීඩා කළා”

“දෙවැනි තරගාවලියට එන විට සූරි, කාංචන සහ රිචඞ් ආවා. ඊට පස්සේ ජේසන් සහ කුට්ටි ආබාධවලට ලක්වුණා. ඒ තිදෙනා ආපු නිසා එතරම් ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මෙම තරගාවලියට සියලු දෙනාම ෆිට් එකේ එන්නවා. මේ තරගාවලියට ඉන්නේ හොඳම 12 ක් කියලා මෙම හිතනවා”

හොං කොං පිලට එරෙහිව අවසන් තරග දෙකේදී මුහුණ දුන් අභියෝගය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා මෙසේ පැවසීය.

“අපි ඇටෑක් කරද්දී ඒ අය ඉක්මනට උඩට ඒම තමයි තියෙන ප්‍රශ්නේ. ඒ ක්‍රීඩකයෝ අපිට ඇටෑක් කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ. ඉදිරි දින කීපයේදී අපිට වෙනස් කම් කිපයක් තියෙනවා කරන්න. ඒවා හදා ගත්තම තවත් ශක්තිමත් වෙයි”

“පුරුදු විදියට අපේ ප්‍රධාන සැළැස්ම වන ‘කික් ඕෆ්’ වලදී දනූෂ් ඉදිරියෙන් ඉන්නවා. ඒක තමයි අපේ ප්‍රධාන සැළැස්ම. කික් ඕෆ් වලදී දනුෂ් සහ ජේසන්, ඇටෑක්වල අපේ හැම දෙනාම හොඳට ක්‍රීඩා කරනවා. ඉදිරි පෙළ හොඳම ටකල් කරන්නේ තරින්ද, ඔහු ඉතාමත්ම වැඳගත්. පසු පසින් රිචඞ් හෝ සූරි ඉන්නවා”

ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“ඇත්තටම මීට පෙර රග්බිවලට ලැබුණ නැති දේවල් ලැබෙනවා. කෑම, බීම. අපි හිටියේ හතර දැන් දෙවැනියට ඇවිත් ඉන්නවා. අපිට තේරෙනවා මට්ටමක් ඉදිරියට යන්න පුළුවන් කියලා”

රග්බි ක්‍රීඩකයන් ද වෘත්තිය මට්ටමට ගෙන ලෙස ඉල්ලා සිටීමට කණ්ඩායම සූදානමින් සිටියි.

“අපේ සමහර ක්‍රීඩකයො හොඳ ආර්ථක තත්ත්වයක ඉන්නවා. සමහර අය දුර්වල ආර්ථික තත්ත්වයක ඉන්නේ. ඔළුවේ ප්‍රශ්න තියාගෙන අපිට සෙල්ලන් කරන්න බෑ. ඒ නිසා අපි හිතනවා, අපිට කියලා තියෙනවා ගිවිසුම්ගත ක්‍රීඩකයෝ බවට පත්කරනවා කියලා. සංගමය, පුහුණුකරුවෝ සහ ක්‍රීඩකයෝ එකතු වෙලා ගියොත් තමයි ඉහළට යන්න පුළුවන්”

“අපි තරගාවලිය තුනකට කලින් තමයි සංගමය හමුවුනේ. අපි වැටුප් ඒ වගේ දේවල් ගැන හිමිහිට හිමිහිට කථා කරලා තියෙනවා. ඒ අය ඒවා කරගෙන යනවා. අපේ දක්‍ෂතා අනුව තව දේවල් කරගන්න පුළුවන්. අපේ මාර්ගයෙන් සංගමයට අනුග්‍රහයන් වගේ දේවල් ලැබෙනවා. සාකච්ඡා කෙරෙනවා. අපි මෙම තරගාවලියේ අනු ශූරතාව දිනුවොත් අපිට ඉදිරියේදී තරගාවලි කීපයක් තියෙනවා. අපි ඒවට යන්න කලින් සාකච්ඡා කරනවා. අපිට එක පාරටම උඩට යන්න බෑ. යුරෝපා රටක් පරදවන්න පුළුවන්න නම් ඒක ලොකු දෙයක්”

“අපේ පුහුණුකරු, අභ්‍යාසක සහ කළමණාකරු ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අපේ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා” යැයි නායක ධනුෂ්ක රංජන් වැඩි දුරටත් පැවසීය.


සටහන: යොහාන් භාසුර  
 


අදහස් (0)

වර්තමාන සාර්ථකත්වයේ රහස කැපවීමයි - ධනුෂ්ක රන්ජන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.