Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner වේල්ස් ක්‍රීඩකයෝ රාජකීය ගමනක

වේල්ස් ක්‍රීඩකයෝ රාජකීය ගමනක

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේදී තරමක තිගැස්මක් ඇති කරවීමට ස්කොට්ලන්තය සමත්වූවත් ලකුණු 18-11 ක පහසු ජයක් වාර්තා කරමින් හයකොන් රග්බි ශූරතාවලිය ග්‍රෑන්ඞ් ස්ලෑම් (අපරාජිතව) ආකාරයෙන් ජයගැනීමේ එළිපත්තටම පැමිණීමට වේල්ස් කණ්ඩායම ඊයේ (සෙනසුරාදා) සමත්විය. වේල්සයට දැන් අවශ්‍ය ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. එය ලබන සතියේ කාඩිෆ් නුවරදී පැවැත්වෙන්නේ අයර්ලන්තය සමගිනි.

තරගයේ පළමු භාගයේදී ජොෂ් ඇඩම්ස් සහ ජොනතන් ඬේවිස් දෙදෙනාගේ සටන්කාමී උත්සාහක දිනුම් නිසා වේල්සය පිට පිට 13 වැනි ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරද්දී පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් වාර්තාපොතට එක්වූයේ ස්කොට්ලන්තයට එරෙහිව ඔහු කණ්ඩායම මෙහෙයවූ 11 වැනි තරගයත් ජයගැනීම හේතුවෙනි.

එකිනෙකා පරික්ෂා කිරීමේ ආකාරයෙන් දෙපිලම තරග වැදුණු අතර තරගයේ 10 වැනි මිනිත්තුවේදී ජෝශ් නවිඩි ‘ඕෆ් සයිඞ්‘ වරදකට හසුවීමෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් ෆින් රසල් ලකුණු 3-0 කින් ස්කොට්ලන්තයට වේලාසනින් පෙරමුණ ගෙන දුන්නේය. එහෙත් වැඩිවේලා යාමට පෙර ජොනතන් ඬේවිස් විසින් පිරිනමනු ලැබූ පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමාව ආක්‍රමණය කිරීමට ජොෂ් ඇඩම්ස් සමත්වූයේ බ්ලෙයාර් කිං හෝන්ගේ දුර්වල බාධා කිරීම තැකීමකට නොගෙනයය. 12 වැනි මිනිත්තුවේදී වාර්තාවූ එම උත්සාහක දිනුම ගැරත් ඇන්ස්කොම්බ් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් වේල්සය 7-3 කින් ඉදිරියට ගෙන ගියේය.

තරගයේ උණුසුම ඉහළ යත්ම එකිනෙකා පරයා යාමට සටන් වැදීමෙන් තරග නීති උල්ලංඝනය වීමට පටන්ගත්තේ දෙපිලම නොදැනුවත්මය. පළමුව 20 වැනි මිනිත්තුවේදී රසල් සිය දෙවැනි දඬුවම් පහර සාර්ථක කරමින් ස්කොට්ලන්තය ලකුණු 6 කින් ඉදිරියට ගෙන යද්දී ඊට මිනිත්තු තුනකට පසුව ඇන්ස්කොම්බ් දඬුවම් පහරක් සාර්ථක කරමින් වේල්සයේ ලකුණු සංඛ්‍යාව 10 කින් ඉහළ දැමුවේය.

29 වැනි මිනිත්තුවේදි ජොනතන් ඬේවිස් තරගයේ වාසිය වේල්සය අතරම රඳවා තබාගැනීමට සමත්වූයේ කදිම උත්සාහක දිනුමකට හිමිකම් කියමිනි. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට ඇන්ස්කොම්බේ අසමත්වූවත් පළමු භාගය නිමාවනවිට ලකුණු 15-6 කින් පෙරමුණ රැක ගැනීමට වේල්සය සමත්විය.

සිය සුපුරුදු ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමේ වාසිය අතැතිව සිටියත් වේල්සය බිම ඇද දැමීම කෙතරම් අසීරුදැයි ස්කොට්ලන්තය දැන සිටියේය. ප්‍රතිවාදියාගේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඉදිරියට යාම මෙන්ම තමන්ගේ ආරක්ෂක  වළල්ලත් එකවර ශක්තිමත් කිරීමට ස්කොට්ලන්තයට සිදුවිය. එවැනි සැලසුම් සහගතව ක්‍රීඩා කළත්, වේල්සයේ  ආරක්ෂක වළල්ල බිඳගෙන පළමු උත්සාහක දිනුම තැබීමට ස්කොට්ලන්තය සමත්වූයේ ලකුණු සංඛ්‍යාව 15-11 ක් කරමිනි.

වේල්සයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමේ නිර්මාණ ශිල්පියා රසල්ය. ඔහු සිත්ගන්නා සුලු පිරිනැමීමකින් බයිරන් මැක්ගුගාන් අතට පන්දුව ලැබුණු අතර ඔහු ඇඩම් හේස්ටින් වෙත වේගයෙන් එය පිරිනැමුවේය. ඔහු විසින් සුරක්ෂිතව ලබා දෙන ලද පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමාවෙන් එහා එය තැබුවේ ඩර්සි ග්‍රෙහැම්ය.

තරගයේ 59 වැනි මිනිත්තුවේදි සිදුවූ මේ අලකලංචියෙන් කළබළයට පත් වේල්සයේ ක්‍රීඩකයෝ පෙරමුණ රැක ගැනීමට කළ හැකි සියල්ල කරමින් අවසන් මිනිත්තුව දක්වා තරගය ඇදගෙන ගියහ. ඇන්ස්කොම්බ්ගේ තුන්වැනි සාර්ථක දඬුවම් පහර 79 වැනි මිනිත්තුවේදී වාර්තා වීමත් සමගම ලකුණු සංඛ්‍යාව 18 - 11 ක් විය.

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

වේල්ස් ක්‍රීඩකයෝ රාජකීය ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.