Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශාන්ත පීතර අවසන් පූර්ව වටයට එයි

ශාන්ත පීතර අවසන් පූර්ව වටයට එයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ ඊයේ (26) සමත් වූහ.

ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර අවසන් පූර්ව තරගය ලබන 2 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ලීග් ශූරයන් වූ ඉසිපතන විදුහල නිතරග ජය ලබා අවසන් පූර්ව තරගයට පැමිණියේය.

 රාජකීය විදුහල් රග්බි පිටියේදී ඊයේ පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 37-31 ක ජයක් ලැබීය.

ජයග්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල 3 කින්, උත්සාහක 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස් කළේය. ශාන්ත අන්තෝනි විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු එකතු විය.

ශාන්ත අන්තෝනි විදුහල ආරම්භයේ සිට පෙරමුණු ආරක්‍ෂා කර ගත්ත ද දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී ලකුණු 25-22 ක්ව තිබියදී බී. ඩී. දිසානායක සාර්ථක කළ උත්සාහක දිනුම එස්. ස්ටීවන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ශාන්ත පීතර විදුහල පළමු වරට ලකුණු 29-25 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේ සිට තරගය තවත් උණුසුම් වූ අතර ලකුණු පුවරුව 29-28, 32-28 සහ 32-31 ලෙස පැවතීමෙන් අවසන් මිනිත්තුව දක්වා තියුණු බව පැවතුණි.  

ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ඒ. ආර්. යාපා, සහ බී. ඩී. දිසානායක උත්සාහක දිනුම් දෙක බැගින් ද, ඩී. සී. ප්‍රනාන්දු උත්සාහක දිනුමක්ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ. එස්. ස්ටීවන් ගෝල ප්‍රවර්ථනය සහ දඩුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු 12 ක් එකතු කිරීමට සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහලට එච්. ඩබ්ලිව්. දුල්ෂාන්, ඒ. ඩී. අමරසිංහ සහ එල්. ඩී. ලියනගේ උත්සාහක දිනුම් බැගින් එකතු කළහ. සැමුවෙල් මධුවන්ත ගෝල ප්‍රවර්ථන දෙක සහ දඩුවම් පහර 4 සාර්ථක කළේය.

ශාන්ත අන්තෝනි විදුහල තරගය ආරම්භයේ සිටම ග්‍රහණය රදවා ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 25-19 ක් ලෙස පෙරමුණේ රැදී සිටියේය.

කොළඹ රාජකීය විදුහල සහ වෙස්ලි විදුහල අතර තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (27) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.  

 

(ඡායාරූප - වරුණ කරුණාසේකර)

 


අදහස් (0)

ශාන්ත පීතර අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.