Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner සමස්ත තරගාවලියේ අනුශූරතාව ශී‍්‍ර ලංකාවට

සමස්ත තරගාවලියේ අනුශූරතාව ශී‍්‍ර ලංකාවට

ශනුක අරවින්ද - 2016 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙස කොළඹ පැරැණි තුරග තරග පිටියේ දී නිමාවට පත්වූ තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයෙන් දකුණු කොරියාව ලකුණු 24-19 කින් පරදවා අදියරේ ශූරතාව මෙන්ම සම්පූර්ණ තරගමාලාවේ ශූරයන් ලෙසින් ද අභිෂේක ලැබීමට හොංකොං පිල සමත්විය.

ඊයේ දහවල් පැවැති කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකාව ලකුණු 19-7 කින් හොංකොං පිල හමුවේ පරාජයට පත්වූ අතර තුන්වැනි ස්ථානය වෙනුවෙන් චීනය සමග පැවැති තරගය ලකුණු 22-21 කින් පරාජය වීම නිසා සත්කාරක ශී‍්‍ර ලංකාවට සිවුවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. කෙසේ වෙතත් පළමු සහ දෙවැනි අදියරේදී දැක්වූ දස්කම් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම සමස්ත තරගමාලාවේ අනුශූරතාව දිනාගැනිමට සමත්විය.

ආසියානු සත් සාමාජික තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමක් සමස්ත අනුශූරතාව දිනූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්විය.

පළමු වතාවට ආසියානු රග්බි තරගමාලාවක කුසලාන වටයේ අවසන් තරගයට එක්වූ දකුණු කොරියාව කොළඹ අදියරේ අනුශූරතාව දිනාගත් අතර සමස්ත තරගමාලාවේ තුන්වැනි ස්ථානයටද පත්විය. කොළඹ තරගාවලියේදී තුන්වැනි තැන දිනාගත් චීනය සමස්ත තරගමාලාවේ සිවුවැනි තැනට පත්විය.

ඉදිරි කණ්ඩායම් හතර කුසලාන වටයට යද්දී පළග කිරුළට සටන් කළ ජපානයට එරෙහිව ලකුණු 19-14 ක විස්මිත ජයක් වාර්තා කළ මැලේසියාව පළග කිරුළ අත්පත් කරගත්තේය.

කෙසේ වෙතත් ආසියානු රග්බි පිටියේ දැවැන්තයා වන ජපානය මෙවර ආසියානු ෂත් සාමාජික තරගාවලියට ඉදිරිපත් කර තිබුණේ දෙවැනි පෙළ කණ්ඩායමකි. එය කුසලාන තරගාවලියටත් බලපා තිබිණ.

කොළඹ තරගාවලියේ දී ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් පසුවූ ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා පිල තුන්වැනි ස්ථානය සඳහා වූ තරගයට එක්වූයේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයෙන් හොංකොං පිල හමුවේ පරාජයට පත්වීමෙනි.

පෙරේදා මූලික වටයේ තරගයෙන් ද චීනය හමුවේ පරාජයට පත්ව සිටිි ශී‍්‍ර ලංකාව ඊයේ චීනයට එරෙහිව පැවැති තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදීත් හොඳ සටනක් දුන්හ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට සමත්වූවත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී සියල්ල කණපිට පෙරළා ජයග‍්‍රහණය අත්කර ගැනීමට චීනයට හැකිවිය.

අවසන් මොහොත දක්වාම ලකුණු 21-12 ක් ලෙස ශී‍්‍ර ලංකාවේ වාසියට තිබූ තරගය මිනිත්තු 3 ක් ඇතුලත කණපිට පෙරළුෑ චීන කී‍්‍රඩකයෝ ලකුණු පුවරුව 22-21 ක් බවට පත්කළේ උත්සාහක දිනුම් 2 ක්ම තබමිනි.

 

සමස්ත තරගමාලාවේ ශ්‍රේණිගත කිරීම්

1. හොංකොං - 36
2. ශී‍්‍ර ලංකාව - 27
3. දකුණු කොරියාව - 26
4. චීනය - 22
5. මැලේසියාව -11
6. ජපානය - 11
7. චීන තායිපේ -8
8. සිංගප්පූරුව -6

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (0)

සමස්ත තරගාවලියේ අනුශූරතාව ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.