Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 11 ක් ඇතුළතට තුන්වැනි වතාවටත් ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළකට හිම්කම් කියමින් අයර්ලන්තය ලකුණු 25-7 කින් පරාජය කළ වේල්සය හයකොන් රග්බි ශූරතාව දිනා ගත්තේය. කාඩිෆ් නුවර ප්‍රින්සිපලිටි ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති මේ තරගයට පෙර අපරාජිතව සිටි වේල්සය කුසලානය හඹා යමින් සිටි අයර්ලන්තයත්, එංගලන්තයත් තුට්ටුවකට මායිම් නොකරමින් ආරම්භයේ සිටම වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.
ඔවුන් තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 16-0 කින් පෙරමුණ ගත් අතර මිනිත්තු 80න් පසුව තරගයට ලබා දුන් අතිරේක මිනිත්තු කිහිපය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ජේා්ර්ඞ්න් ලාමෝර් උත්සාහක දිනුමක් නොතැබුවා නම් අයර්ලන්තයට ගෙදර යාමට වන්නේ ලකුණු 25-0 ක අන්ත පරාජයක් උරුම කරගනිමිනි.
වේල්සයේ ජයග්‍රහණය, තනතුරෙන් ඉවත්වීමට බලා සිටින පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් වෙත ලබාදුන් කදිම උපහාරයක් වූ අතර ඔහු තනතුරෙන් සමුගන්නේ මේ ශූරතාවලියේ ඉතිහාසයේ ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන තුනක් දිනාගත් පළමු හා එකම පුහුණුකරු ලෙස අසමසම වාර්තාවක් ද තුරුළුකර ගෙනය. වසර 2008 සහ 2012 දී ග්‍රෑන්ඞ් ස්ලෑම් අයුරින් හයකොන් කුසලානය දිනූ වේල්සය මුල සිටම තරගය වෙන් කර තිබුණේ ද සිය ආදරණීය පුහුණුකරුවා වෙනුවෙනි.
වොරන් ගැට්ලන්ඞ් වේල්සයේ පුහුණුකරු ලෙස කටයුතු කළ 50 වැනි තරගයද මෙයයි. වේල්සය දැන් පිට පිට තරග 14 ක් ජයගනිමින් වෙනම වාර්තාවක් නඩත්තු කරමින් සිටී. ඊයේ තරගය අයර්ලන්ත පුහුණුකරු ජෝ ෂ්මිඞ්ට්ගේ ද අවසන් හයකොන් තරගය විය. මේ දෙදෙනාම ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් පසුව සිය තනතුරෙන් නික්ම යාමට නියමිතය.
තරගය ආරම්භ වී තත්ත්පර 70 කින් අයර්ලන්තයේ ඉරණම තීන්දු වූයේ හැඞ්ලි පාක්ස් තැබූ විස්මිත උත්සාහක දිනුමක් නිසාය. ගැරත් ඇන්ස්කොම්බේ එය ගෝලයක් බවට පත් කිරීමෙන් වේල්සය ලකුණු 7-0 කින් පෙරමුණ ගත්තේ පළමු මිනිත්තුවේදීමය.
ඊළඟට තරගයේ 69 වැනි මිනිත්තුව දක්වා කාලය ගෙවී ගියේ එක පොදියට දෙපිලම පන්දුවට පොරකමින් සිටියදී සිදූවූ නීතිවිරෝධී ක්‍රීඩා වලිනි. වේල්සයට ලැබුණු දඬුවම් පහර අවස්ථා 6 ක්ම සාර්ථක කිරීමට ඇන්ස්කොම්බේ සමත්වීමෙන් වේල්සය සිය ලකුණු සංඛ්‍යාව 25-0 දක්වා ඉහළ දමාගත්තේය.
මෙය තනිකරම ඒක පාර්ශ්වික තරගයක් බවට පත්වූ අතර ඊයේ පෙරේදා වේල්සයේ පුහුණුකරුවත්, ක්‍රීඩකයන් පිරිසත් බිංදුවට ඇද දමන ආකාරයෙන් සරදමට ලක් කරමින් කටමැත දෙඩවූ අයර්ලන්තයේ පුහුණුකරුවාට සහ ක්‍රීඩකයන්ට අන්තිමට සිදුවූයේ හිස් අතින් ගෙදර යාමටය. එවැනි අන්ත පරාජයක් අයර්ලන්තය මෑත කාලයේ උරුම කරගෙන නොතිබිණ.
කෙසේ වෙතත් අතිරේක මිනිත්තු කිහිපය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ජේා්ර්ඞ්න් ලාමෝර් උත්සාහක දිනුමක් තැබීමත්, එය ගෝලයක් බවට ප්‍රවර්තනය වීමත් නිසා අයර්ලන්තය නිලකුණු තත්ත්වයෙන් මිදුණේය.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.