Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය පුරා ප්‍රතිවාදින් අතින් හොඳ හැටි ලෙල්ලම් වී ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම අඩියට වැටී සිටි සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම ඊයේ ආරම්භ වූ දෙවැනි වටයේ පළමු තරගයේ දීත් ගෝල් 10 කින් තලා පොඩි කොට දැමූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 80-3 ක ජයක් අත්කර ගත්තේය.
සී.එච්. වැනි දුර්වල කණ්ඩායමකට එරෙහිව වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමෙන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ දමාගැනීමට ලැබෙන වාසිය කල්පනා කළ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගය පුරාම හුස්මක් කටක් නොගෙන හිතේ හැටියට ලකුණු පිපාසය සංසිඳුවා ගත්හ.
තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 45--0 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල තරගය නිමා කළේ ගෝල් 10 ක් සහ උත්සාහක දිනුම් දෙකකිනි. සී.එච්. පිලට දඬුවම් පහරකට වඩා ඉදිරියට යාමට නොහැකිවිය.
තරගයේ කාර්ය බහුලතම ක්‍රීඩකයා බවට පත්වූ හැව්ලොක්ස් පිලේ දුලාජ් පෙරේරා ඊයේ වාර්තා වූ උත්සාහක දිනුම් 12න් 10 ක්ම ගෝල බවට පත් කිරීමට සමත්වූවා පමණක් නොව ඉතා අලංකාර උත්සාහක දිනුම් දෙකකුත් තැබුවේය. ඔහු මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ සිටින අතර පළමු වටය නිමාවට පත්වෙද්දී වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් ගෝල බවට පත් කරමින්ද, දඬුවම් පහර ගණනාවක් සාර්ථක කරමින් ද සිය ලකුණු සංඛ්‍යාව 91 දක්වා ඉහළ දමා ගත්තේය.
තරගය ආරම්භයේ දීම චාමර දාබරේ තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ හැව්ලොක්ස් පිල පළමු භාගය නිමා වෙද්දී විමුක්ති රාහුල, උදාර අංජන, විහඟ පිවිතුරු, රාහුල් ද සිල්වා, කෙවින් ඩික්සන් සහ දුලාජ් පෙරේරා උත්සාහක දිනුම් වරුසාවකින් සී.එච්. පිල තෙමා දැමූහ. ඉන් 5 ක්ම ගෝල බවට පත් කරනු ලැබුවේ දුලාජ් විසිනි.
ඉන් නොනැවතී දෙවැනි භාගයේ ආරම්භයේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ දුලාජ් එය ගෝලයක් බවට පත් කරද්දී හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගියේය. අනතුරුව දුෂ්මන්ත ප්‍රියදර්ශන තැබූ උත්සාහක දිනුමක් දුලාජ් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව 59-0 ක් විය.
සී.එච්. පිලේ ලකුණු ඉඩෝරයට දිය බිඳුවක් බඳු දඬුවම් පහර වාර්තා වූයේ ඊට සුළු වේලාවකට පසුවය. විශ්ව දිනෙත් එම දඬුවම් පහර සාර්ථක කිරීමෙන් පසුව ලකුණු පුවරුව දිස් වූයේ 59-3 ක් ලෙසිනි.
එහෙත් ඉන් මඳ වේලාවකට පසුව පිට පිට උත්සාහක දිනුම් දෙකක් තැබූ ජනික් ජයසූරිය හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 73 දක්වා ඉහළ දැමුවේ දුලාජ් එම උත්සාහක දිනුම් ද්විත්වය ගෝල බවට පත් කිරීමෙනි.
හැව්ලොක්ස් පිලේ අවසන් උත්සාහක දිනුම වාර්තා කරනු ලැබුවේ නිශොන් පෙරේරා විසිනි. දුලාජ් පෙරේරා ගෝලයක් බවට පත් කළ 10 වැනි උත්සාහක දිනුම එය විය.
සී.එච්. - හැව්ලොක්ස් අන්තර් සමාජ රග්බි තරගයේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - වරුණ කරුණාසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.