Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් තරුණයෝ පොලිසිය මෙල්ල කරති

හැව්ලොක්ස් තරුණයෝ පොලිසිය මෙල්ල කරති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනිත්තු 10 තුළ ලකුණු 21 ක් රැස්කරමින් අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් පිටියේදී අද (30) පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 31-26 කින් පොලිස් පිල පරාජය කිරීමට හැව්ලොක්ස් පිල සමත් විය.

හැව්ලොක්ස් පිල මෙම ජයග්‍රහණයත් සමඟ පිට පිටම තරග හතරම ජය ලබා තව දුරටත් අපරාජිතව සිටියි. මෙහිදී හැව්ලොක්ස් පිලට අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිවිය.

දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේ ශානක හරිස්චන්ද්‍ර එකතු කළ උත්සාහක දිනුමත් සමඟ පොලිස් පිල ලකුණු 19-0 ක් ලෙස ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියේය.

එය එසේ වුවද හයවැනි මිනිත්තුවේදී ඉමේෂ් මධුෂාන්, 12 වැනි මිනිත්තුවේදී රහල් දෙල්පචිත්‍ර සහ 15 වැනි මිනිත්තුවේදී නැවතත් ඉමේෂ් මධුෂාන් උත්සාහක දිනුම් සම්පූර්ණ කරමින් තරගය උඩු යටිකුරු කිරීමට මුල පිරූහ. ප්‍රින්ස් චාමර විශිෂ්ට ලෙස එම උත්සාහක දිනුම් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ හැව්ලොක්ස් පිල ලකුණු 21-19 ක් ලෙස ලකුණු දෙකකින් ඉදිරියට පැමිණියේය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධයේදී තරගයට ඉමේෂ් මධුෂාන් සහ රහල් දෙල්පචිත්‍ර වැනි පාසල් රග්බි පිටියෙන් මෑතකදී ඉවත්වූ තරුණ ක්‍රීඩකයන් යොමු කළ අතර එම ක්‍රීඩකයන් කීපදෙනා වේගයෙන් දිවීම පොලිස් පිලට පාලනය කරගත නොහැකි වීම මෙම පෙරළියට හේතු විය.

හැව්ලොක්ස් පිල එම සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වන ශාරු ප්‍රනාන්දු පළමු අර්ධය අවසන් වීමට පෙර විවේක ගැන්වීය.  

නිසල සමාධි 24 වැනි මිනිත්තුවේදී එකතු කළ ගෝලයත් සමඟ පොලිස් පිල ලකුණු 26-21 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය.

හැව්ලොක්ස් පිලේ යොවුන් ක්‍රීඩක රහල් දෙල්පචිත්‍ර මිනිත්තු හයකට පසුව ක්‍රියාත්මක වෙමින් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව 26-26 ක් ලෙස සම කළේය.

ලසිඳු කරුණාතිලක 35 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් හැව්ලොක්ස් පිල ලකුණු 31-26 ක් ලෙස නැවතත් ඉදිරියට පැමිණියේය.

පළමු අර්ධයේ 33 වැනි මිනිත්තුවේදී ඉරෝෂන් සිල්වා සම්පූර්ණ කළ උත්සාහක දිනුමට සජිත් සිල්වා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 14-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් එම අර්ධය අවසන් කළේය.  
ප්‍රධාන විනිසුරු ඉෂංක අබේකෝන් මහතාගේ නළා හඩින් මිනිත්තු 17 ක් ගතවීමෙන් පසුව ළහිරු පවිත්‍ර ගෝල කණු අතර තැබූ පන්දුවට සජිත් සිල්වා අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමිකර ගත්තේය.

 

 


අදහස් (0)

හැව්ලොක්ස් තරුණයෝ පොලිසිය මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.