Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ෆෙඩ්රික්ගේ පය ඉතාලියට පරාජය ගෙනෙයි

ෆෙඩ්රික්ගේ පය ඉතාලියට පරාජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල තමන්ට හිමි අංක 7 ස්ථානයේ වටිනාකම වඩාත් ඔප්නංවාගත් ප‍්‍රංශයේ ‘ලෙස් බ්ලූස්’ කී‍්‍රඩකයෝ ‘ඞී’ කාණ්ඩය යටතේ ඊයේ ඉතාලියට එරෙහිව ට්විකන්හැම් හී පැවැති සිය පළමු ලෝක කුසලාන තරගයෙන් ලකුණු 32-10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්වූහ.

මේ ජයග‍්‍රහණයෙන් තුනෙන් දෙකකටම පංගුකාරයා වෙමින් ප‍්‍රංශයට මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ෆ්‍රෙඞ්රික් මිචලැක්ය.

‘ලෙස් බ්ලූස්ලා’ රැස් කළ ලකුණු සංඛ්‍යාවෙන් 19 ක්ම වාර්තා කරනු ලැබුවේ ඔහු විසිනි. ඊට දඩුවම් පහර පහක්ම ඇතුලත් වූ අතර උත්සාහක දිනුම් දෙකක් සාර්ථකව ගෝල බවට පත්කිරීමේ කාර්ය භාරය ද මැනවින් ඉටු කිරිමට සමත්වූයේ මෙවර ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ ප‍්‍රංශ  කී‍්‍රඩකයා වීමේ ගෞරවයටද ළගා වෙමිනි.

අඩුවැඩි නැතිව දෙපිලම එක හා සමානව විනය විරෝධී අයුරින් කී‍්‍රඩා කළ මේ තරගයේ දී ප‍්‍රංශ පිලේ කණස්සල්ලට භාජනය වූ එකම කරුණ වූයේ ඔවුන්ගේ වින්ග් කී‍්‍රඩක යුවාන් හුගෙට් 54 වැනි මිනිත්තුවේ දී දණහිසේ දරුණු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව යාමයි. මීට අමතරව තරගය පුරා කණ්ඩායම් දෙකම සැළකිය යුතු ප‍්‍රමාණයකට අක‍්‍රමවත් කී‍්‍රඩා රටාවක නිරතවීමෙන් ද, වාද විවාද කරගනිමින් ද දකුණු අපි‍්‍රකානු ජාතික තරග තීරක ක්‍රෙග් ජෝබෙට් සෑහෙන වෙහෙසකට පත් කළහ.

මේ සිදුවීම් පෙළ හේතුවෙන් දෙපිලේම කී‍්‍රඩකයන් ගණනාවක් ආබාධවලට ලක්වූ අතර තරගයේ පළමු ආදේශකය 11 වැනි මිනිත්තුවේ දී සිදුවීමෙන් ඉතිරි කාලසීමාවේ දී තත්ත්වය මීටත් වඩා බරපතල වනු ඇතැයි තරග තීරකවරයාට නොහැගුනානම් එය පුදුමයකි. එවර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවතට ගියේ ඉතාලියේ සෙන්ටර් කී‍්‍රඩක ඇන්ඩි‍්‍රයා මැසීය.

මෙවර තරගමාලාවේ සත්කාරක එංගලන්තය සහ ෆිජී කණ්ඩායම අතර පැවැති සමාරම්භක තරගයේදී  මහා ආන්දෝලනයට තුඩුදුන් රූපවාහිනී තරග නිලධාරියාගේ (TMO) කාර්යභාරයේ පිහිට පැතීමට මේ තරගයේදීත් තරග තීරකවරයාට සිදුවිය.

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී ඉතාලියේ ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක එඩෝරාඩෝ ගෝරි තැබූ සැකයට තුඩුදුන් උත්සාහක දිනුම පිළිබඳ නිවැරැුදි කරගැනීමට තරග තීරක ජෝබෙට් ගත් ටී.එම්. ඕ සහයෙන් නිසි ප‍්‍රතිඵල අත්නොවීම ඊයේ කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 76,000කට අධික කී‍්‍රඩාලෝලීන්ගේ නොසතුටට හේතුවිය.

ඉතාලියේ එකම උත්සාහක දිනුම වාර්තා වුයේ දෙවැනි භාගයේ මුල් හරියේදීය. ඒ වෙද්දී ප‍්‍රංශය ලකුණු 25 ක්ම ලබා පසුවූයේ ඉතා ප‍්‍රබල තත්ත්වයකය. නීතිවිරෝධි කී‍්‍රඩා රටාවක යෙදුණත් ගෝරීගේ උත්සාහක දිනුම මැඩ පැවැත්වීමට ප‍්‍රංශයේ ආරක්ෂක වළල්ලට නොහැකිවිය. එහෙත් ඊට වඩා ඉදිරියට යාමට ඉතාලියට ඉඩ නොදුන් ප‍්‍රංශය අවසන් මොහොතේ ආදේශ කළ ප්‍රොප් කී‍්‍රඩක නිකොලස් මාස් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.

ඒ වනවිට ඉතාලියේ නායක සර්ජියෝ පරිසේද තරගමාලාවේ ඉතිරි තරගවලට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවන තරමේ දැඩි ආබාධයකට ගොදුරු වීමට සිදුවී තිබිණි.

තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ ප‍්‍රංශයේ මිචලැක්ට දැන් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ ප‍්‍රංශ  කී‍්‍රඩකයා වන තියරි ලැක්‍රොයික්ස්ගේ ලකුණු 124 ක වාර්තාව උදුරාගැනීමට අවශ්‍යවී ඇත්තේ තවත් ලකුණු තුනක් පමණි. පෙනෙන හැටියට රුමේනියාව සමග ලබන 24 දා පැවැත්වෙන තරගයේදී ඔහු ඒ වාර්තාව තබනු ඇත.

 

ප්‍රංශ - ඉතාලි රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඒ. එෆ්. පී. අනුග‍්‍රහයෙනි

 


අදහස් (0)

ෆෙඩ්රික්ගේ පය ඉතාලියට පරාජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.