Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(පානදුර - සමන් කාරියවසම්)
පානදුර සහ මොරටුව ප්‍රදේශවල කීර්තිමත් පාසල් දෙකක් වන පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර 73 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා පාසල් මහ ක්‍රිකට් ඉතිහාසයේ 11 වැනි පැරණිතම මහ ක්‍රිකට් තරගය වන පානදුර - මොරටු ‘රන් මහ සටන’ මහ ක්‍රිකට් තරගය තෙදින තරගයක් ලෙස පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම කැපී පෙනේ. දෙවිදුහල් අතර මේ දක්වා පැවැති මහ ක්‍රිකට් තරග 72 දී ශ්‍රී සුමංගල විදුහල තරග 8 ක් සහ මොරටු මහ විදුහල තරග 7 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් විය.
ශ්‍රී සුමංගල විදුහල අවසන් වරට ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් 2007 වසරේද, මොරටු මහ විදුහල අවසන් වරට අනුරුද්ධික කල්හාරගේ නායකත්වයෙන් 2010 වසරේද රන් මහ සටන ජය ලබා තිබේ.
මෙම පාසල් දෙකෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් දායාද කර ඇති අතර ශ්‍රී සුමංගල විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් වන දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ සහ ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජන කළහ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වන කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂද ප්‍රනාන්දු ශ්‍රී සුමංගල විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූවෝ වෙති.
මොරටු මහ විදුහල පිරිමි සහ කාන්තා යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කළ එකම පාසල ලෙස ඉතිහාසයට එකතුව තිබේ. ටෙස්ට් ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් වන අතර ටෙස්ට් ක්‍රීඩක හසන්ත ප්‍රනාන්දු, මොරටු මහ විදුහලේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
මෙවර තරගයේදී ශ්‍රී සුමංගල විදුහල් පිලේ නායකයා ලෙස දුරංක සිල්වාද, මොරටු මහ විදුහල් පිලේ නයකයා ලෙස ඉසුරු ප්‍රනාන්දුද කටයුතු කරති.
ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම මෙවර වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග 13 කට ක්‍රීඩා කර තරග 4 ක පූර්ණ ජයග්‍රහණද, පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක්ද, සමගින් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
මෙවර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරු වන නේක්‍ෂ ඉද්දමල්ගොඩ සහ නායක දුරංක සිල්වා ලකුණු 500 ක් ඉක්මවා රැස්කිරීමට සමත්ව සිටිති. අනුහස් ද සිල්වා, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ සහ සන්දීප් විජේරත්න එම විදුහල් කණ්ඩායමේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
මෙම තරග වාරයේ ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වන මෙවිඳු කුමාරසිරි කඩුලු 60 ක් ඉක්මවා දවාගැනීමට සමත්ව සිටියි. සදෙව් හෙට්ටිආරච්චි, රුසිත් ජයවර්ධන සහ බිහඟ සිල්වා එම විදුහල් පිලේ සෙසු ප්‍රබල පන්දුයවන්නෝ වෙති.
මොරටු මහ විදුහල මෙවර වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරග 12 කට ක්‍රීඩා කර පූර්ණ ජයග්‍රහණ දෙකක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් ලැබීය.
මොරටු මහ විදුහල් කණ්ඩායමේ ප්‍රබලතමයා වන නායක ඉසුරු ප්‍රනාන්දු මෙම තරග වාරයේ ලකුණු 1,000 ක් ඉක්මවමින්, කඩුලු 30 ක් ඉක්මවා දවාගෙන සිටියි. දෙනෙත් සිතුමිණ සහ සංජන සෙනෙවිරත්න එම විදුහල් කණ්ඩායමේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති. නිශාන්ත ප්‍රනාන්දු කඩුලු 50 ක් ඉක්මවා දවාගනිමින් ප්‍රබලතම පන්දුයවන්නා බවට පත්ව සිටියි.
දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය 1993 වසරේ ආරම්භ වූ අතර 32 වැනි වාර්ෂික එක්දින තරගය ලබන අප්‍රේල් 6 වැනිදා මොරටුවේදී පැවැත්වේ. මෙතෙක් පැවැති වාර්ෂික එක්දින තරග 31 න් ශ්‍රී සුමංගල විදුහල තරග 16 ක්ද, මොරටු මහ විදුහල තරග 12 ක් ද, ජය ලබා තිබේ.
පානදුර ශ්‍රී සුමංගල විදුහල
මොරටු මහ විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.