Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව SL in ENG Test Series 2024 එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්
ලෝඞ්ස් ටෙස්ට් තරගය

එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 කට දැවී ගියේය. ලකුණු 231 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. 

ඒ අනුව එංගලන්තය තවත් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් සිටි අතර දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු බෙන් ඩකට් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, නායක ඔලී පෝප් නොදැවී ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. එංගලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකරුවා වූයේ ළහිරු කුමාරය. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න (7) සහ නිශාන් මධුෂ්ක (7) දෙදෙනාම පන්දුව කඩුල්ල වෙත ඇදගැනීමෙන් දැවී ගියහ. පැතුම් නිස්සංක (12) සහ දිනේෂ් චන්දිමාල් (23) දැවී ගියේ එකම ආකාරයේ ෆ්ලික් පහර දෙකක් ගැසීමෙන් ස්කුවෙයාර් ලෙග් කලාපයේ සිටි පන්දු රකින්නන්ට උඩ පන්දු ලබා දෙමිනි. 

ලකුණු 22 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල බිඳ දැමූ මැතිව් පොට්ස්, ඉන් නොනැවතී නායක ධනංජය ද සිල්වා ආ පයින්ට ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කමිඳු මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය. 
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් එංගලන්තය වෙනුවෙන් ශතක ලබාගත් ජෝ රූට් (143) සහ ගස් ඇට්කින්සන් (118) සිය කණ්ඩායම ලකුණු 427 ක් දක්වා ඔසවා තැබීය. එහිදී අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

පළමු දිනයේදී තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 358 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී ඉතිරි කඩුලු තුනම දවාගත් අසිත ප්‍රනාන්දු දෙවැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා අසිත ප්‍රනාන්දුය. 1991 දී ලකුණු 69 කට කඩුලු 5 ක් දවාගත් රුමේෂ් රත්නායක එවන් දස්කමක් කළ පළමුවැනි ශ්‍රී ලාංකිකයා විය. 

මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ගස් ඇට්කින්සන් කණ්ඩායමට එක්වූයේ වේග පන්දු යවන්නකු ලෙසිනි. මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 4 දී ගස් ඇට්කින්සන්ගේ නමට කඩුලු 26 ක් සටහන් වී තිබේ. පළමු පෙළ තරග 23 කට ක්‍රීඩා කර ඇති ගස් ඇට්කින්සන් ඒවායේදී පිත්තෙන් ලකුණු 550 ක් ලබාගෙන ඇතත්, ඔහුගේ පළමුවැනි පළමු පෙළ ශතකය වූයේ අද දිනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 118 යි. 

ගස් ඇට්කින්සන් දැවී ගියේ ඩීප් මිඞ් විකට් හි සිටි මිලාන් රත්නායක ආපස්සට දිවයමින්, අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දුවකිනි. සිය ලකුණු 118 වෙනුවෙන් පන්දු 115 කට මුහුණ දුන් ගස් ඇට්කින්සන් හතරේ පහර 14 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය. 

- 036


අදහස් (0)

එංගලන්තය ලකුණු 256 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.