Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව SL in ENG Test Series 2024 සියලු දෑස් කමිඳු මෙන්ඩිස් වෙතට
දෙවැනි ටෙස්ට් තරගය

සියලු දෑස් කමිඳු මෙන්ඩිස් වෙතට

editorial - 2024 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ටෙස්ට් තරග 4 කට පසුව, කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍යය 92.16 කි. ටෙස්ට් ඉතිහාසය පුරාම ගත් කල්හි, ටෙස්ට් ලකුණු 500 කට වඩා රැස්කරගත් පිතිකරුවන් අතුරින් දෙවැනි හොඳම සාමාන්‍යය ඇත්තේ කමිඳුට වූවත් ඒ ගැන පමණට වඩා උද්දාම වීමට කාරණාවක් නැත. මක්නිසාද යත් මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වන බැවිනි.
 
එසේ වූවත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (29 වැනිදා) ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී සියලු දෙනාගේම දෑස් කමිඳු මෙන්ඩිස් වෙත යොමු වී තිබේ. අනාදිමත් කාලයක සිටම පිතිකරුවන්ගේ පාරාදීසයක් වන ලෝඞ්ස් පිටියේදී කමිඳු මෙන්ඩිස්ට කළ හැක්කේ කුමක්ද යන්න සියලු දෙනාගේම විමසිල්ලට බඳුන් වීම ඊට හේතුවයි. 

වසර දෙකකට ඉහත, ගාල්ලේදී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ කමිඳුගේ ටෙස්ට් ඉනිම 7 ක ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 61, 102, 164, නොදැවී 92, 9, 12 සහ 113 ක් වශයෙනි. මැන්චෙස්ටර් ටෙස්ට් තරගයේදී, එංගලන්තයේ හිටපු නායක නසාර් හුසේන් ඇතුළු ක්‍රිකට් විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වූ කමිඳුට පිතිහරඹය පිළිබඳව ඇත්තේ සරළ න්‍යායකි. 

“මූලික දේවල් හරියට කරන්න. තැන්පත්කම රඳවාගන්න” ලෝඞ්ස් ටෙස්ට් තරගයට පෙර කමිඳු වාර්තාකරුවන්ට කීවේය. 

කමිඳු ටෙස්ට් වරම් දිනාගත්තේ ධනංජය ද සිල්වාට කොවිඞ්-19 වෛරසය වැළඳීම හේතුවෙනි. එහෙත් සිය මංගල ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ එකම ඉනිමේදී (61) දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කමිඳුට ඊළඟ ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමි විය. ඒ අසනීපයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කරන ප්‍රතිපත්තිය හේතුවෙනි. 

වසර දෙකකට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිසි කමිඳු, බංග්ලාදේශයේ ෂිලාත් නුවරදී එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් අතර තරග 2 කින් ලකුණු 367 ක් ලබාගත්තේය. අනතුරුව මැන්චෙස්ටර් පිටියට පිවිසි කමිඳුගේ දෙවැනි ඉනිම සටහන් වූයේ 113 ක්ලෙසිනි. 

“අපේ පිතිකරු ලයිස්තුව පිරිලා තිබුණේ. ඒත් මට ලැබුණු අවස්ථාවේදී කළ හැකි හොඳම දේ කරන්න මම උත්සාහ කළා” යයි කමිඳු කීවේ තමන් කළ දේට වඩා තමන්ගේ ආකල්පය කවර ආකාර වේද යන්න මාධ්‍යවේදීන්ට මැනවින් පැහැදිළි කරමිනි. 

ලෝකයේ කොයි හතර දිග්බාගයේ උපත ලද නමුත් ක්‍රිකට් ක්‍රීඩකයකු දුටු සැණින් ඔහුගේ තරාතිරම හඳුනාගැනීමට එංගලන්ත ක්‍රිකට් විචාරකයෝ අති සමර්ථයෝ වෙත්. එංගලන්ත ක්‍රිකට් විචාරකයන්ගේත් විස්මයට පාත්‍රවී සිටින කමිඳු ලෝඞ්ස් පිටියේ කුමක් කරාවිද යන්න වැඩිදෙනාගේ විමසිල්ලට ලක්වන කාරණාව වී තිබේ. 

ටෙස්ට් තරගයක 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාව අඩු වූවද, කමිඳු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නිරන්තර සාමාජිකයකු විය. ඔහු කණ්ඩායම සමගින් බොහෝ සංචාර වලට එක්වූ අතර කණ්ඩායම් කාමරයේ සිටීමම කමිඳුගේ ආත්ම ධෛර්යය උද්දීපනය කරන්නක් විය. ඒ සියල්ලටම වඩා කමිඳු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඇහුම්කන් දෙන්නෙකි. 

“ඔවුන් දෙන්නාම (දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස්) මට ගොඩාක් උදව් කළා. ඔවුන්ගේ දැනුම පිට්ටනිය මැද්දෙදි මාත් එක්ක බෙදාගත්තා” යයි මැන්චෙස්ටර් ඉනිම ගැන කමිඳු කීවේය. 

ස්ථාවර පිතිකරුවකු වීමට අමතරව කමිඳු අත් දෙකින්ම දඟ පන්දු යැවීමේ හැකියාව ඇත්තෙකි. 

කෙසේ වෙතත් අද තරගය සඳහා එංගලන්තය සූදානම් වන්නේ වෙනස් ආකාරයෙනි. මාක් වුඞ්ගේ ස්ථානයට ඔලී ස්ටෝන් කැඳවා තිබෙන එංගලන්තය දඟ පන්දු යවන්නකු වශයෙන් ෂොයිබ් බෂිර්වද අමතක කර නැත. ඔලී ස්ටෝන් කණ්ඩායමට කැඳවන්නේ අධි වේගයෙන් පන්දු යැවීමට ඔහු සතු හැකියාව හේතුවෙනි. 


විශේෂ ස්තුතිය - ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය


අදහස් (0)

සියලු දෑස් කමිඳු මෙන්ඩිස් වෙතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.