Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket අසලංකගේ පරිණත පිතිහරඹය ශ්‍රී ලංකාව දිනවයි
1 වැනි විස්සයි-20 තරගය

අසලංකගේ පරිණත පිතිහරඹය ශ්‍රී ලංකාව දිනවයි

editorial - 2024 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

ලකුණු 136 පහසු ඉලක්කයක් වූවද ශ්‍රී ලංකා පිතිකරුවෝත් පන්දුවට පහරදුන්නේ අසීරුවෙනි. එහෙත් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී නවසීලන්තය පරාජය කරමින් කඩුලු 4 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේය. මෙම ජයත් සමගින් තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පරාජය නොවන ස්ථානයකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පැමිණ සිටිති. 

තණතීරුව බෙහෙවින් මන්දගාමී වූවා පමණක් නොව, පන්දුව පහතින් ඇදී ඒමත් දෙපිලේම පිතිකරුවන්ට මහත් හිසරදයක් විය. එහෙත් මෙවන් තණතීරුවක හැටි දන්නා නිසාම ශ්‍රී ලංකා පිතිකරුවෝ තමන්ගේ කඩුලු රැකගත්හ. එහිදී අති විශිෂ්ට පරිණතභාවයක් පෙන්නුම් කළ චරිත් අසලංක, නායකයකුගේ සැබෑ වගකීම කරට ගනිමින්, සිය කණ්ඩායම ජයටැඹ පසුකර යන තුරුම පිටියේ රැඳුණේය. 

පන්දු 28 කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායකයා ලබාගත් ලකුණු 35 ට අත්‍යාලංකාර හයේ පහර දෙකක්ම ඇතුළත් වූ නමුත් ලකුණු 87 දී පස්වැනි කඩුල්ල බිඳ වැටීමත් සමගින් දුර බැලූ ඔහු තැන්පත් විය. එතැන් සිට පසුපෙළ පිතිකරුවන් සමගින් සම්බන්ධතා ගොඩනැංවූ ශ්‍රී ලංකා නායකයා, පිට පිටම තුන්වැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

වනිඳු හසරංග (22) සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අසලංක, දුනිත් වෙල්ලාලගේ සමගින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 15 ක් එකතු කළේය. මෙම සම්බන්ධතා දෙකේදීම අසලංකගේ දායකත්වය ලකුණු 20 ක් වූ නමුත් ඔහුගේ පරිණත පාලනය ශ්‍රී ලංකා ජයග්‍රහණයේ සැඟවුණු රහස විය. 

පන්දු යවන්නන් හත් දෙනකු සමගින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව, ඔවුන්ගෙන් 6 දෙනකු පමණක් සේවයේ යොදවා ගනිමින් නවසීලන්තය ලකුණු 135 කට දවාගත්තේය. මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ වනිඳු හසරංග කඩුලු 2 ක් බැගින් දවාගත් අතර දුනිත් වෙල්ලාගේ පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. 

තුන්වැනි ඕවරයේදීම පන්දුව අතට ගත් දුනිත් වෙල්ලාලගේ ටිම් රොබින්සන් මුළා කරමින් ඔහුගේ පිට ඉන්න මත තිබූ බේලය බිමට දැම්මේය. එතැන් සිටම දඟ පන්දු භීතිකාව වැළඳගත් නවසීලන්ත පිතිකරුවෝ පන්දුවට පහර දුන්නේ විස්සයි-20 තරගයක් බව අමතක වූ ලීලාවෙනි. නවසීලන්ත ඉනිම පුරාම තිබුණේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 කි. 

ඉනිමේ හොඳම සම්බන්ධතාව වූයේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් සකාරී ෆෝක්ස් (නොදැවී 27) සහ ඉෂ් සෝධි (10) දෙදෙනා එකතු කළ ලකුණු 37 යි. ෆෝක්ස් සහ මයිකල් බ්‍රේස්වෙල් හැරෙන්නට ලකුණු 20 සීමාව පසුකිරීමට වෙනත් කිසිදු නවසීලන්ත පිතිකරුවකු සමත් නොවීය. 

කළුවර වැටීමට පොරතුව, වැස්සක සේයාවක් වත් පෙනෙන්නට නොතිබූ හෙයින් කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර් කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව චරිත් අසලංක කීවේත් කාසියේ වාසිය ලැබුණේ නම් තමන් ද පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නා බවයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ නුවන් තුෂාර දෙදෙනාම ඇතුළත්ව සිටින නමුත් කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙදෙනාත් ඇතුළුව කණ්ඩායමේ දඟ පන්ද යවන්නෝම පස් දෙනෙකි. 

නවසීලන්තය වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන් රැසක්ම පිටියට පිවිස සිටින අතර කඩුලු රකින්නා වන මිචෙල් හේගේ මංගල විස්සයි-20 තරගය මෙයයි. 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

අසලංකගේ පරිණත පිතිහරඹය ශ්‍රී ලංකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.