Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket කොදෙව් කොල්ලෝම කොදෙව් පිල පරදවති
බ්‍රිජ්ටවුන් විස්සයි-20 තරගය

කොදෙව් කොල්ලෝම කොදෙව් පිල පරදවති

editorial - 2024 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

සිය තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික ශතකය ලබාගත් පිල් සෝල්ට් බ්‍රිජ්ටවුන් නුවරදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියේය. මෙම  ජයත් සමගින් තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී එංගලන්තය 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

කොදෙව් පිල ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 182 පසුකර යාමට එංගලන්තයට අවශ්‍ය වූයේ ඕවර 16.5 ක් පමණි. විස්සයි-20 අන්තර්ජාතික තරග දිවියේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ සකිබ් මොහොමඩ් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

කොදෙව් ඉනිම ගොඩනැඟුණේ සම්බන්ධතා තුනක් මතිනි. 

නිකලස් පූරන් සහ නායක රෝමන් පවෙල් පන්දු 17 කින් ලකුණු 41 ක් එකතු කළහ. පසුව පූරන් සහ ඇන්ඩි්‍ර රසල් එක්ව පන්දු 26 කින් ලකුණු 39 ක් රැස්කළහ. ඉනිමේ අවසානය පෙනි පෙනී පෙනී තිබියදී ගුඩාකේෂ් මෝති සහහ රොමාරියෝ ෂෙපර්ඩ් එක්ව පන්දු 26 කින් ලකුණු 49 ක් ලබාගැනීම නිසා කොදෙව්වෝ ලකුණු 180 සීමාව පැනගත්හ. 

එහෙත් කොදෙව්වන්ගේ සියලු උත්සාහයන්, පිල් සෝල්ට්ගේ ඉනිම හමුවේ හිරු දුටු පිණි මෙන් වියැකී, දියවී ගියේය. පන්දු 54 කින් නොදැවී ලකුණු 103 ක් ලබාගත් ආරම්භක පිතිකරුවා, ෂෙමාර් ජෝෂප්ගේ එක ඕවරයකින් ලකුණු 22 ක් උදුරා ගත් පසු නැවැත්විය නොහැකි විය. 

බ්‍රිජ්ටවුන් යනු බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් බාර්බඩෝස් දිවයිනේ අගනුවරයි. එය ඉතා පැරණි ක්‍රිකට් සංස්කෘතියකින් යුත් දූපතකි. මෙවර කොදෙව් පිලට පරාජය කැන්දාගෙන ආවේ බාර්බඩෝස් දිවයිනේදීම හැදී වැඩුණු ක්‍රීඩකයෝ දෙදෙනෙකි.

පිල් සෝල්ට් කොලු ගැටයා කාලයේදී වසර 6 ක් ගතකළේ බාර්බඩෝස් දිවයිනේදීය. 
සෝල්ට් සමගින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ජේකබ් බෙතීල් ද බාර්බඩෝස් දිවයිනේම උපත ලැබ, වයස අවුරුදු 13 වන තුරුත් එහි ජීවත්වූ අයෙකි. 

එංගලන්ත ඉනිමේ සිව්වැනි ඕවරයේදී රොමාරියෝ ජෝෂප්ට හතරේ පහර 5 කින් සංග්‍රහ කළ පිල් සෝල්ට් ලකුණු 50 සීමාවෙන් එංගලන්තය පන්නා ගත්තේය. එතැන් සිට එය එහෙම පිටින්ම ගිණිකෙළි සංදර්ශනයක් හා සමාන විය. පිල් සෝල්ට්ගේ විස්සයි-20 ශතක තුනම කොදෙව් පිලට එරෙහිව බටහිර ඉන්දීය දූපත් අතරේදී ලබාගත් ඒවාය. 

ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවන විට එංගලන්තය කඩුලු 1 කට කුණු 73 ක් ලබා සිටියේය. ශාරීරික ආබාධයක් නිසා මාස 5 ක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි ජොස් බට්ලර් මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේ ගුඩාකේෂ් මෝතිගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. 

එහෙත් එතැන් සිට ජේකබ් බෙතීල් සහ පිල් සෝල්ට් දෙදෙනා එක්වීම නිසා කොදෙව්වන්ට කිසිම සැනසීමක් නොලැබිණ. 

පිල් සෝල්ට් කදිම සහයෝගයක් දුන් බෙතීල්, පන්දු 36 කින් ලබාගත් ලකුණු 58 ට කොදෙව් ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ රැඳෙන හයේ පහර දෙකක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ට 182 යි
(එවින් ලුවිස් 13, නිකලස් පූරන් 38, රෝමන් පවෙල් 18, ඇන්ඩි්‍ර රසල් 30, රොමාරියෝ ෂෙපර්ඩ් 35, ගුඩාකේෂ් මෝති 33, සකිබ් මොහොමඩ් 34/4, අදිල් රෂීඩ් 32/3)

එංගලන්තය - ඕවර 16.5 කදී කඩුලු 2 ට 183 යි
(පිල් සෝල්ට් නොදැවී 103, විල් ජැක්ස් 17, ජේකබ් බෙතීල් නොදැවී 58) 


අදහස් (0)

කොදෙව් කොල්ලෝම කොදෙව් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.