Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket දකුණු අප්‍රිකාවට ලකුණු 233 ක ජයක්
ඩර්බන් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාවට ලකුණු 233 ක ජයක්

editorial - 2024 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

සියලුම සාධක අවාසි පැත්තට තිබියදීත් ධෛර්යවන්ත සටනක නිරත වූ ධනංජය ද සිල්වා (59) සහ දිනේෂ් චන්දිමාල් (83) ඔප්පු කර පෙන්වූයේ ශ්‍රී ලංකාව ලකුණු 42 කට දැවී යාමට තරම් නොවන කණ්ඩායමක් බවයි. එහෙත් වැරදීම සිදුවී හමාර බැවින් එයින් ගැලවීමක් නොතිබිණ. ඩර්බන් නුවර කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවෝ ලකුණු 233 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. 

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් දකුණු අප්‍රිකානුවෝ පෙරමුණ ගෙන සිටිති. 

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 516 ක ඉලක්කයක් කරා යා යුතුවූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (30 වැනිදා) දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව ලකුණු 282 කට දැවී ගියේය. 

අද පෙවරුව පුරාම චන්දිමාල් සහ ධනංජය දෙදෙනා අලංකාර පිතිහරඹයක නිරත වූ නමුත් දිවා ආහාරයට අඩ හෝරාවක් පමණ තිබියදී ධනංජයගේ සුළු අත්වැරදීමකින් දෙදෙනා අතර පැවැති 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 95 ක් වෙද්දී බිඳ වැටිණ. එතැන් සිට දිනේෂ් චන්දිමාල් ඉදිරියට ගියද, ලකුණු 271 දී චන්දිමාල් දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු හතරම ලකුණු 11 ක් තුළදී ඇද වැටිණ. 

ලකුණු 103 කට කඩුලු 5 ක් දැවී යාමෙන් පසුව, ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විටත් චන්දිමාල් සහ ධනංජය දෙදෙනා කඩුල්ලේ රැඳී සිටියහ. 

අද පෙරවරු 9.30 ට තරගය ආරම්භ වූ වේලේ සිටම මෙම පිතිකරුවෝ දෙදෙනා, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ එකිනෙකා පරයමින් අලංකාර පහර මුදා හරින්නට වූහ. කේෂව් මහාරාජ් පන්දුව බාරගන්නා විට චන්දිමාල් ලකුණු 40 ක් ලබා සිටි නමුත් ධනංජය ලබා සිටියේ ලකුණු 19 කි. එහෙත් චිත්තාකර්ශනීය පහර කිහිපයකින්ම මහාරාජ්ට සංග්‍රහ කළ ශ්‍රී ලංකා නායකයා, ඉක්මනින්ම චන්දිමාල්ට ආසන්න විය.

අලංකාර පුල් පහරකින් මාකෝ යැන්සන්ගේ පන්දුවක් හතරේ සීමාවට යැවූ චන්දිමාල් පන්දු 103 කදී, හතරේ පහර 8 ක්ද සහිතව, සිය අර්ධ ශතකය ලබාගත්තේ මෙම තරගයේදී ඔහුගේ පිතිහරඹයට සාධාරණය ඉටු කරමිනි. චන්දිමාල්ගේ ඉනිම පුරාම ‘කට්’ සහ ‘ඩ්‍රයිව්’ පහර මෙන්ම ‘පුල්’ පහරත්, පන්දුව තල්ලු කරමින් ලකුණක් හෝ දෙකක් ලබාගනීමත් මැනවින් පෙන්නට තිබිණ. පැය 5 කට ආසන්න කාලයක් (විනාඩි 295 ක්) පුරා කඩුල්ලේ රැඳෙමින් අංක 3 පිතිකරුවාගේ කාර්යභාරය මැනවින් ඉටුකළ චන්දිමාල්ගේ සම්පූර්ණ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත විය. 

කේෂව් මහාරාජ්ගේ පන්දු හතරකින් දෙකක්ම ‘ස්වීප්’ පහර දෙකකින් හතරේ සීමාවට යැවූ ශ්‍රී ලංකා නායකයා, මුහුණ දුන් 66 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය ලබාගත්තේය. ‘තට්ටු ඇල්ලීමෙන්’ මෙම තරගය ජය පරාජයකින් තොරව හෝ බේරා ගැනීමේ අවස්ථාවක් තමන්ට නොලැබෙන බව හෙතෙම හොඳින්ම දැන සිටියේය. එබැවින් එකම විකල්පය ලකුණු ලබාගැනීම පමණකි. 

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි බැවින් ධනංජයගේ අරමුණ වූයේ කේෂව් මහාරාජ් හමුවේ ලකුණු ලබාගැනීමයි. වමත් දඟ පන්දු යවන්නාගේ පන්දුවක් පා ඉන්න පැත්තෙන් යවා ලකුණු ලබාගැනීමට ගත් උත්සාහයකදී ධනංජයගේ පිත්තෙන් නික්මුණු පන්දුව ‘මිඩ් ඕන්’ හි සිටි ටි්‍රස්ටන් ස්ටබ්ස්ගේ දෑත් අතර සැඟව ගියේය. නායකයා තමන් කෙරෙහිම කෝපාවිශ්ඨ වූ නමුත් මුවින් නොබැණ ආපසු ක්‍රීඩාගාරයට පිය මැන්නේය. 

මුල් ඉනිමේදී ලකුණු 16 කට දැවීයාම හැරෙන්නට, ටි්‍රස්ටන් ස්ටබ්ස් මෙම තරගයේදී කිසිම දෙයක් වරද්දා නොගත් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42 කට දවාගැනීමේදී උඩපන්දු 2 ක් රැකගත් ස්ටබ්ස් දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත්තාට අමතරව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී තවත් උඩපන්දු දෙකක් ද ඩැහැගත්තේය. 

ඉනිම දෙකේදීම ලකුණු 86 කට කඩුලු 10 ක් දවාගත් මාකෝ යැන්සන් තරගයේ වීරයා විය. 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 233 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.