Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියානු පන්දු යැවීමට සරදම් කරති
පර්ත් ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියානු පන්දු යැවීමට සරදම් කරති

editorial - 2024 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියානුවන් තඹයකට මායිම් නොකරන බව පෙන්වූ ඉන්දීය ආරම්භක පිතිකරුවෝ, දෙවැනි ඉනිමේදී පළමු කඩුල්ල වෙනුවෙන්  ලකුණු 172 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූවා පමණක් නොව ඕස්ට්‍රේලියාවේ අංක එකේ වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක්ට සරදම් කිරීමටත් පසුබට නොවූහ. පර්ත් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 172 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 218 කින් ඉදිරියෙන් සිටියේය. 

බෝඩර් - ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙයයි. 

තරගයේ තවමත් නිම වී ඇත්තේ දින දෙකක් පමණක් වන අතර තවත් සම්පූර්ණ දින තුනක් ඉතිරි වී තිබේ. යශස්වී ජයිස්වාල් පන්දු 193 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 90 ක් ලබා සිටින අතර ලෝකේෂ් රාහුල් පන්දු 153 කින් නොදැවී ලකුණු 62 ක් ලබා සිටී. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 150 කට දැවී ගියද නායක ජස්ප්‍රීට් බුම්රා (30/5) ඇතුළු ඉන්දීය වේග පන්දු යවන්නෝ ඕස්ටේ්‍රලියානු මුල් ඉනිම ලකුණු 104 කට සීමා කරමින් ලකුණු 46 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. 

පළමු දිනයේදීම  ලකුණු 67 කට කඩුලු 7 ක් අහිමි කරගත් ඕස්ටේ්‍රලියානුවන්ට දෙවැනි දිනයේදීත්  ගැලවීමක් නොවිණ. මිචෙල් ස්ටාක් (26) ඕස්ට්‍රේලියානු පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූවද, වසර 147 ක ටෙස්ට් ඉතිහාසයක් හිමි ඕස්ටේ්‍රලියානුවන්ට සිය මුල් ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 104 කි. එහෙත් දිවා අහාරයෙන් පසුව ඉන්දීය පිතිකරුවෝ රිසි සේ ඕස්ට්‍රේලියානුවන්ට තැළුෑහ. 

තරගයේ පළමු දිනය වූ ඊයේ (22 වැනිදා) මිචෙල් ස්ටාක්ගේ පන්දුවකින් යශස්වී ජයිස්වාල් ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් අද පැවැතියේ ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයකි. 

මිචෙල් ස්ටාක්ගේ පන්දු යැවීම සරදමකට ගත් යශස්වී ජයිස්වාල් “අයියෝ... ඔයාගේ බෝල එන්නේ හරිම හෙමින් නේ..” යයි 19 වැනි ඕවරයේදී වමත් වේග පන්දු යවන්නාට කීවේය. මන්දස්මිතයක් සමගින් මිචෙල් ස්ටාක් ආපසු තමන්ගේ සීමාවට ගියද, තවමත් 22 හැවිරිදි පිතිකරුවකුගෙන් සරදම් ලැබීමට සිදුවීම පිළිබඳ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මහත් මනස්තාපයට පත්ව සිටියහ. 

ස්ටාක්ගේ අවාසනාව දිගින් දිගටම පැවතිණ. 38 වැනි ඕවරය වන විට ජයිස්වාල් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. තවත් ඕවර 3 කට පසුව ස්ටාක් හමුවේ ඩ්‍රයිව් පහරකට උත්සාහ කළ ජයිස්වාල්ගේ පිත්තේ වැදුණු පන්දුව ස්ලිප් කලාපයට ගියේය. පළමු ස්ලිප් හි සිටි උස්මන් කවාජා ඉදිරියට නැමුණේ නම් එය පහසුවෙන්ම රැකගත හැකිව තිබූ උඩපන්දුවක් වුවද කවාජාගේ දෑත්වලට සෙන්ටිමීටර කිහිපයක් ඉදිරියෙන් පන්දුව බිම වැටිණ. 

මෙම උඩපන්දුව අතහැරීම සම්බන්ධයෙන් නම් මිචෙල් ස්ටාක් මහත් සේ කෝපාවිෂ්ඨව සිටියේය. 

ඊළඟ ඕවරයේ පළමු පන්දුවේදීම ලෝකේෂ් රාහුල් දුවද්දී දවාගත හැකිව තිබූ නමුත් ස්ටීවන් ස්මිත් අහුලා වීසි කළ පන්දුව කඩුල්ලෙන් බොහෝ ඈතට ගිය බැවින් ඕස්ටේ්‍රලියානුවන්ගේ වාසනාව පෙනෙන තෙක් මානයක නොවීය.  තවත් ඕවර කිහිපයකින් රාහුල් ද සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 


ඉන්දියාව - පළමු ඉනිම 150 යි

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 104 යි
(නේතන් මැක්ස්වීනි 10, ට්‍රැවිස් හෙඩ් 11, ඇලෙක්ස්  කේරි 21, මිචෙල් ස්ටාක් 26, ජස්ප්‍රීට් බුම්රා 30/5, මොහොමඩ් සිරාජ් 20/2, හර්ෂිත් රානා 48/3)

ඉන්දියාව - දෙවැනි  ඉනිම කිසිවකු නොදැවී 172 යි
(යශස්වී ජයිස්වාල් නොදැවී 90, ලෝකේෂ් රාහුල් නොදැවී 62)


අදහස් (0)

ඉන්දියානුවෝ ඕස්ට්‍රේලියානු පන්දු යැවීමට සරදම් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.