Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ඕස්ට්‍රේලියාව ලකුණු 184 කින් ජයගනී
මෙල්බර්න් ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාව ලකුණු 184 කින් ජයගනී

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් දිනයේ තේ පානය සඳහා ආපසු ක්‍රීඩාගාරයට යන විටත් කඩුලු 3 කට ලකුණු 112 ක් ලබා සිටි ඉන්දියානුවන්ගේ සැනසීමට තිබුණේ තමන් අත රැඳී කඩුලු 7 යි. ආරම්භක පිතිකරු යශස්වී ජයිස්වාල් (නොදැවී 63) සහ විශ්වාසය තැබිය හැකි කඩුලු රකින්නකු වන රිෂාබ් පාන්ට් (නොදැවී 28) කඩුල්ලේ රැඳී සිටි බැවින් තරගය ජය පරාජයෙන් තොරව අහවර කරගැනීමේ සියලුම බලාපොරොත්තු ඉන්දියානුවන් වෙත තිබිණ. 

එහෙත් තේ පානයෙන් පසුව, ලකුණු 34 ක් ඇතුළත කඩුලු 7 ක් දවාගත් ඕස්ට්‍රේලියානුවෝ  මෑත කාලීන ඉතිහාසයේදී අත්කරගත් සුවිශේෂී ටෙස්ට් ජයක් සම්පූර්ණ කළහ. මෙල්බර්න් පිටියේදී අද (30 වැනිදා) නිමාවූ සිව්වැනි ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 184 ක ජයත් සමගින් බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේදී 2-1 ක් ලෙසින් ඉදිරියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගාවලියේදී පරාජය නොවන ස්ථානයක් අත්පත් කරගත්හ. 

පැය 5 ක් පුරා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමග ඔට්ටු වූ යශස්වී ජයිස්වාල්, පන්දු 208 කට පසුව පැට් කමින්ස් හමුවේ තම කඩුල්ල පූජා කළේය. 

ඉන්දීය ඉනිමේ අවසන් පිතිකරුවා වන මොහොමඩ් සිරාජ්ගේ කඩුල්ල දවාගත් නේතන් ලයන් සතුටින් ඉපිළ ගිය නමුත් තරගයේ තිබූ උද්වේගකර තත්ත්වය මෙන්ම උණුසුමත් කියාපෑමට ලයන්ගේ සතුට සැමරුම හෝ ලකුණු 184 ක දිනුම ප්‍රමාණවත් නොවීය. එහි නොපෙනෙන කාරණාව වූයේ පර්ත් නුවරදී පැවැති තරගාවලියේ පළමු තරගය පරාජය වීමෙන් පසුව, ඕස්ට්‍රේලියානුවන්ගේ හිස් එසවීමයි. 

ඉන්දීය කණ්ඩායම දිනයක් ඇතුළත ලකුණු 340 ක ඉලක්කයක් කරා යා යුතුව තිබිණ. දිවා ආහාරයට පෙර ලකුණු 33 කට කඩුලු 3 ක් බිම දමාගත් නමුත් ජයිස්වාල් සහ රිෂාබ් පාන්ට් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එකතු කරමින් තේ පානය වන විට කඩුලු 3 කට ලකුණු 112 ක් දක්වා ඉන්දීය පිල ඉදිරියට ගෙන ගියහ. 

ට්‍රැවිස් හෙඩ් කඩුලු රකින්නෙකි. පිට දඟ පන්දු යැවීමේ හැකියාව ඇතත් නිරන්තරයෙන් පන්දු යවන්නකු ද නොවේ. අද දිනයේ තේ පානයෙන් පසුව ඕවර 5 ක් පමණක් යැවූ ට්‍රැවිස් හෙඩ් අවශ්‍යම කඩුල්ල තම පිලට ගෙනැවිත් දුන්නේය. හෙඩ්ගේ පන්දුවකට පුල් පහරක් ගැසූ රිෂාබ් පාන්ට්ගේ උඩපන්දුව මිචෙල් මාෂ්ගේ දෑත් අතර සැඟව යාමෙන් පසුව ඉන්දීය පිලේ අවසන් කඩුලු 7 ම ලකුණු 34 කට ඇද වැටිණ. 

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් පන්දු යැවූයේ කුපිත වූ ව්‍යාඝ්‍රයන් ලෙසිනි. 

පිටකොන්දේ වේදනාවක් තිබියදීත්, මිචෙල් ස්ටාක් පැයට කිලෝමීටර 140 ආසන්නයේ පන්දු යැවීය. කමින්ස් සහ ස්කොට් බෝලන්ඩ් දෙදෙනාගෙන්ම ගැලවීමක් නොතිබිණ. 

ඉනිම දෙකේදීම (49 සහ 41) ලකුණු 90 ක් ලබාගනිමින් කඩුලු 6 ක් දවාගත් ඕස්ට්‍රේලියානු නායකයා, මෙල්බර්න් ටෙස්ට් තරගයේ හොඳම තුන් ඉරියව් දස්කම් පෙන්වන ක්‍රීඩකයාට පිරිනැමෙන ‘ජොනී මුල්ලා’ පදක්කම දිනාගත්තේය. 

මෙම පරාජයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඉන්දීය පිල වෙතින් දුරස් වෙමින් තිබේ. එහෙත් සිඩ්නි පිටියේදී ආරම්භ වන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය 2-2 ක් ලෙසින් සමකළ හැකිනම් බෝඩර් - ගවස්කාර් කුසලාන තවදුරටත් තමන් සන්තකයේ රඳවාගැනීමේ අවස්ථාව ඉන්දීය පිලට තිබේ. 

සිඩ්නි ටෙස්ට් තරගයත් ජයගෙන 3-1 ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කළහොත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානය වෙන්කරවා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකියාව ඇත. පාකිස්තානය පරාජය කිරීමෙන් පසුව ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට දකුණ අප්‍රිකානුවෝ සුදුසුකම් ලබා සිටිති. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 474 යි
ඉන්දියාව - පළමු ඉනිම 369 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 234 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම 155 යි

(යශස්වී ජයිස්වාල් 84, රිෂාබ් පාන්ට් 30, පැට් කමින්ස් 28/3, ස්කොට් බෝලන්ඩ් 39/3, නේතන් ලයන් 37/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 184 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.