Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උද්වේගකර සිදුවීම් මාලාවකින් සමන්විත මෙල්බර්න් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 333 කින් ඉදිරියට පැමිණ සිටිති. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේ සිව්වැනි තරගයේ සිව්වැනි දිනය වූ අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් ලබා සිටියේය.
ජස්ප්‍රීට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානුවෝ සිය දෙවැනි ඉනිමේදී ලකුණු 91 කට කඩුලු 6 ක් අහිමි කරගත්හ. එහෙත් මෙම තරගයේදී දෙවැනි වතාවටත් මානස් ලැබුෂේන් (70) සහ නායක පැට් කමින්ස් (41) එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ. ඉන් අනතුරුව නේතන් ලයන් (නොදැවී 41) සහ ස්කොට් බෝලන්ඩ් 10 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසිය ලකුණු 333 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
2024 - 2025 බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විටත් 1-1 ක් ලෙසින් සමව තිබේ. එබැවින් මෙල්බර්න් තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගන්නවා පමණක් නොව, මෙවර තරගාවලියේදී පරාජය කළ නොහැකි ස්ථානයකට ද පිවිසෙනු ඇත.
ජස්ප්‍රීට් බුම්රාට ලැබුණු නේතන් ලයන් දවාගැනීමේ අවස්ථාව සාර්ථක වූයේ නම් බුම්රාට සිය 5 වැනි කඩුල්ල හිමිකරගත හැකිව තිබිණ. තුන්වැනි ස්ලිප් හි සිටි ලෝකේෂ් රාහුල් විසින් ලයන්ගේ උඩපන්දුව රැකගන්නා ලද නමුත් ඒ වන විට මහත් වෙහෙසට පත්ව සිටි ඉන්දීය වේග පන්දු යවන්නාගේ පාදය සීමා ඉරට ඉදිරියෙන් තිබිණ. ලයන් එම ඕවරය අවසන් කළේ බුම්රාගෙන් ලකුණු 14 ක් උදුරා ගනිමිනි.
තරගය ජයගැනීම සඳහා ඉන්දියානුවන්ට ලැබෙන ඉලක්කය කුමක්ද යන්න තවමත් කිව නොහැක. එහෙත් මෙල්බර්න් පිටියේ ටෙස්ට් තරගයක අවසන් දිනයේදී ලකුණු 333 ක් ලබාගැනීම පහසු අභියෝගයක් නොවේ. වසර 96 කට ඉහත, (1928 දී) එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 332 ක් ලබාගැනීම හැරෙන්නට, සිව්වැනි ඉනිමේදී ඊට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් මෙල්බර්න් පිටියේදී ටෙස්ට් තරගයක් ජයගැනීමට ලෝකයේ කිසිම ටෙස්ට් කණ්ඩායමක් සමත්ව නැත.
ඉන්දීය මුල් ඉනිම ගොඩගන්නා ලද්දේ නිතිෂ් කුමාර් රෙඩ්ඩි (114) විසිනි.
ඕස්ට්‍රේලියානුවන් සිය මුල් ඉනිම සඳහා ලබාගත් ලකුණු 474 ට පිළිතුරු සොයා යාමේදී ඉන්දීය පිතිකරුවෝ සිය මුල් ඉනිමේදී ලකුණු 221 කට කඩුලු 7 ක් අහිමි කරගත්හ. එහෙත් නිතිෂ් කුමාර් රෙඩ්ඩි සහ වොෂිංටන් සුන්දර් (50) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ඉන්දියානුවෝ හිස් ඔසවාගත්හ. එය නිතිෂ් කුමාර් රෙඩ්ඩිගෙ මංගල ටෙස්ට් ශතකය වූ අතර ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසිය ලකුණ 105 ක් දක්වා අඩුවිය.
මෙල්බර්න් ටෙස්ට් තරගය නැරඹීම සඳහා මුල් දින 4 දී පැමිණි ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 299,329 කි. එය බොක්සිං දින (දෙසැම්බර් 26 වැනිදා) ටෙස්ට් තරගයක් නැරඹීම සඳහා මෙතෙක් පැමිණි විශාලතම ප්‍රේක්‍ෂක සංඛ්‍යාවයි.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 474 යි
ඉන්දියාව - පළමු ඉනිම 369 යි
(යශස්වී ජයිස්වාල් 82, ලෝකේෂ් රාහුල් 24, විරාට් කෝලි 36, රිෂාබ් පාන්ට් 28, රවීන්ද්‍ර ජදේජා 17, නිතිෂ් කුමාර් රෙඩ්ඩි 114, වොෂිංටන් සුන්දර් 50, පැට් කමින්ස් 89/3, ස්කොට් බෝලන්ඩ් 57/3, නේතන් ලයන් 96/3)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 9 ට 228 යි
(උස්මන් කවාජා 21, මානස් ලැබුෂේන් 70, ස්ටීවන් ස්මිත් 13, පැටි කමින්ස් 41, නේතන් ලයන් නොදැවී 41, ස්කොට් බෝලන්ඩ් නොදැවී 10, ජස්ප්‍රීට් බුම්රා 56/4, මොහොමඩ් සිරාජ් 66/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.