Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා කළ තරම් වියළි ස්වභාවයක් තණතීරුවේ නොතිබිණ.
ගාල්ල ක්‍රීඩාංගණයට ඉහළින්, හිරු වසාගත් දැවැන්ත වළාව දකුණු මුහුදු තීරයේ වර්ග සැතපුම් 10,000 කට වැඩි ප්‍රමාණයක පැතිරී තිබූ බව ‘නාසා’ ආයතනයේ චන්ද්‍රිකා ඡායාරූපයකින් පෙනෙන්නට තිබිණ. හැමදාමත් පැහැදිළිව පෙනෙන, ගාලු කොටුවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ක්ෂිතිජය ඝන මීදුම් වළාවකින් වැසී තිබිණ.
ශ්‍රී ලංකා පිලට තිබුණේ එකම විකල්පයකි. විදුලි පංකා සහ අධිබලැති විදුලි පහන් යොදා ගනිමින් හෝ තණතීරුව වේලා ගැනීමයි. ගාල්ල ක්‍රීඩාංගණ බලධාරීහු නොපැකිළවම ඊට අවශ්‍ය පියවර ගත්හ.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද (29 වැනිදා) ආරම්භ වන වෝන් - මුරලිදරන් තරගාවලියේ පළමු තරගය සඳහා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සූදානම් කෙරුණේ එලෙසිනි.
නායක ධනංජය ද සිල්වා මෙන්ම කමිඳු මෙන්ඩිස් ද සුළු ආබාධ වලට ලක්ව සිටියත් පළමු ටෙස්ට් තරගය සඳහා එය බාධකයක් නොවේ. දෙදෙනාම තරගයට සූදානමින් සිටිති. එහෙත් පවතින දේශගුණික තත්ත්වය අනුව, දඟ පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම පුරවා දැමීම අවදානම් සහගතය. යම් හෙයකින් කාසියේ වාසිය අහිමි වී පළමුව පන්දු යැවීමට සිදු වුවහොත් මුහුණ දීමට සිදුවන තත්ත්වය සම්බන්ධයෙන් සිතා බැලීමට තේරීම් කමිටුවට සිදුවෙයි.
ඊයේ පෙරවරුවේ, තණතීරුව වේලමින් සිටියදීම, තේරීම් කමිටු නිලධාරීන් සහ පුහුණුකරු සනත් ජයසූරිය පිටිය මැදට වී සාකච්ඡා කරන්නට ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන්නට ඇත.
වසර 2007 දී ආරම්භ වූ වෝන් - මුරලි කුසලාන තරගාවලියේ හත්වැන්න මෙයයි. මෙතෙක් පැවැති තරගාවලි හයෙන් පහකදීම ජයග්‍රාහකයන් වූ ඕස්ට්‍රේලියානුවෝ කුසලානය තමන් සන්තකයේ තබාගෙන සිටිති. ශ්‍රී ලංකාව වෝන් මුරලි කුසලාන දිනාගත්තේ වසර 2016 දී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදීය. එහෙත් 2018-19 තරගාවලිය ජයගත් ටිම් පේන්ගේ ඕස්ටේ්රලියානුවෝ එය නැවතත් ඕස්ටේ්රලියාවට රැගෙන ගියහ.
“එදා (2016) ඒ තරගාවලියේදී සෙල්ලම් කරපු ක්‍රීඩකයන් වැඩි දෙනෙක් තවමත් කණ්ඩායමේ ඉන්නවා. ඒ අයගේ තියෙන පළපුරුද්ද බැලුවාම මේ තරගාවලියේදී අපි හොඳට සෙල්ලම් කරන්න ඕන” යයි වෝන් - මුරලි කුසලානය නැවතත් දිනාගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබමින් ධනංජය ද සිල්වා පැවසීය.
කෙසේ වෙතත් මෙම තරගයේදී අපේක්ෂා කළ හැක්කේ පළමු වැනි පන්දුවේ සිටම දඟ කැවෙන තණතීරුවක් නම් නොවේ. පළමු දින දෙකේදී පිතිකරුවන්ට වාසිදායක තත්ත්වයක් අපේක්ෂා කරන බැවින් අද උදෑසන ලැබෙන කාසියේ වාසිය බෙහෙවින් වැදගත් වනු ඇත.
ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කියූ හැටියට කණ්ඩායමේ 11 දෙනා ගැන ඊයේ දහවල් වන තුරුත් ඔහු නිශ්චිතව දැන සිටියේ නැත. ඊට හේතුව පැවැති කාලගුණික තත්ත්වය නිසා දෙපිලම තම තමන්ගේ කණ්ඩායම් නම් කිරීම අවසන් මොහොත දක්වා තබාගැනීමයි. එහෙත් ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරුවා වශයෙන් යොදාගැනීමේ සැලසුම ස්ථිර බව ස්මිත් කියා සිටියේය. දකුණු ආසියාවේ තණතීරු මතදී ට්‍රැවිස් හෙඩ් ලකුණු ලබාගන්නා ආකාරයත් ඔහුගේ සාර්ථක වීමේ සම්භාවිතාව ඉහළ අගයක පැවතීමත් ඊට මූලික හේතුවයි.
ඒ අනුව 19 හැවිරිදි සෑම් කොන්ස්ටාස්ගේ ස්ථානය ට්‍රැවිස් හෙඩ්ට හිමිවන අතර කොන්ස්ටාස්ට පිතිකරු ලයිස්තුවේ වෙනත් තැනක් හිමිවේද නැද්ද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි.
තරග දිවය ආරම්භයේදී හිත් පිත් නැති පහරදීමක් කළ නමුත් ටෙස්ට් ක්‍රිකට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තලය මෙන්ම සාම්ප්‍රදායික වශයෙන් ද එය ඇත්තේ කලබල ක්‍රිකට් වලට බොහෝ ඉහළින් බව ඕස්ට්‍රේලියානුවෝ දනිති.
ඉන්දීය පිලට එරෙහිව, විශේෂයෙන්ම ජස්ප්‍රීට් බුම්රා හමුවේ පන්දුවට පහර දුන් ආකාරයෙන්, ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පිනවීමට සමත් වූ 19 හැවිරිදි ගැටයකු වන සෑම් කොන්ස්ටාස් ශ්‍රී ලංකා සංචාරයටත් දොරටු විවර කරගත්තේය. එහෙත් ඉනිම මැදදී වෙනස් කමක් අවශ්‍ය වුවහොත් ඊට සූදානම් වීමේ අරමුණු ඇතිව, ඕස්ට්‍රේලියානුවෝ වඩාත් අවදානම් සහගත පියවර ගැනීමට සූදානම් වෙමින් සිටිති.
2016 ශ්‍රී ලංකා සංංචාරයේදීත් ඕස්ටේ්රලියානු නායකයාව සිටි ස්ටීවන් ස්මිත්, එයින් වසර දෙකකට පසුව, දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලියකදී වැලි කඩදාසියකින් පන්දුව සීරීමට තම ක්‍රීඩකයන්ට අනුබල දීම හේතුවෙන් 2018 මාර්තු මාසයේදී නායකත්වය අහිමි කරගත්තේය. එදායින් පසුව, ස්මිත්ට ඕස්ටේ්රලියානු නායකත්වය හිමිවූ පළමු අවස්ථාව මෙයයි.
ටෙස්ට් ලකුණු 10,000 ඉලක්කය නම් ස්ටීවන් ස්මිත්ට කරදරයක් සේ දැනෙමින් තිබේ.
“ඒක නම් මම මගේ ඔලුවෙන් එළියේ තියලා තියන්න තමයි කැමති”
“අවංකවම කියනවා නම්, මම සිඩ්නි නුවරදී ඒ ගැන ඕනෑවට වඩා හිතුවා. ඒ හින්දා මෙහෙදී මම ඒ ගැන අමතක කරලා, මට බාරදීලා තියෙන රාජකාරිය (නායකත්වය සහ පිතිහරඹය) ගැන අවධානය යොමු කරනවා” යයි ස්ටීවන් ස්මිත් පැවසීය.
අවසන් වරට, (2022 දී) ශ්‍රී ලංකාවේදී පැවැති වෝන් - මුරලිදරන් කුසලාන තරගාවලිය 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය. පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි තරගයේදී දිනේෂ් චන්දිමාල් ලබාගත් අති විශිෂ්ට ද්විත්ව ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක ජයක් අත්කර ගත්තේය.
එදාත්, තරග දෙකම ගාල්ලේදී පැවති නමුත් පළමු තරගයේ තණතීරුව පළමු පන්දුවේ සිටම දඟ කැවෙන්නට විය. එක ඉනිමක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව වූයේ 164 කි. එහෙත් දෙවැනි තරගයේදී අලංකාර ද්විත්ව ශතකයක්, ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ පවතිණ තණතීරුවල වෙනස්වීම ගැන ඕස්ටේ්රලියානුවෝ බෙහෙවින් කතා බහ කර තිබේ.
“හොඳම දේ තමයි ආකාර දෙකේම තණතීරු වලට සූදානම් වන එක. ආරම්භයේ ඉඳලාම පන්දුව දඟ කැවෙන්නට ගත්තොත්, ඒකට අනුරූප විදිහට ලකුණු ලබාගන්න තියෙන විකල්ප යොදා ගන්නවා..නැත්නම් සුපුරුදු විදිහට තරගයට පිවිසෙනවා..... ”
“එකම දේ හැකි ඉක්මනින් පවතින තත්ත්වයට හැඩගැහෙන එකයි” යයි ද ඕස්ටේ්රලියානු නායකයා කීවේය.
ශ්‍රී ලංකාවේ තණතීරු මතදී ඕස්ට්‍රේලියානුවන් ජොෂ් ඉංග්ලිෂ් කෙරෙහි ඉහළ බලාපොරොත්තු තබා තිබේ. දඟ පන්දු යවන්නන් හමුවේ හොඳින් ලකුණු ලබාගන්නා ජොෂ් ඉංග්ලිෂ්ට කඩුල්ලේ හතර වටෙන්ම පන්දුව හතරේ සීමාවට යැවීමට හැකි පහර රැසක් තිබේ. අනෙක් අතට ඔහුට ඉතාමත් හොඳ ආරක්ෂාකාරී පහර කිහිපයක් ද තිබේ. ඒ සියල්ලටම වඩා ජොෂ් ඉංග්ලිෂ් යනු ආරම්භයක් ගතහොත් අත නොහරින තාලේ ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක
ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායකයා), ට්‍රැවිස් හෙඩ් (උප නායකයා), ෂෝන් ඇබට්, උස්මන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මානස් ලැබුෂේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වීනි, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ්, කූපර් කොනලි, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කූනේමන්, ටොඩ් මර්පි සහ බියු වෙබ්ස්ටර්
විනිසුරුවරු :
ක්‍රිස් ග්රැෆනි (නවසීලන්තය) සහ ඒඩි්රයන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව)
තරග තීරක :
ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය)
විදුලි පංකා සහ අධි බලැති විදුලි ආලෝය යොදාගනිමින් ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව වේලමින් තිබු අයුරු
ඡායාරූපය - ඉෂාර කොඩිකාර (ප්‍රංශ පුවත් සේවය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.