Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket සෙල්ලම් බඩු කඩේ කොල්ලාත් සංචිතයේ
දකුණු අප්‍රිකානු සංචාරය

සෙල්ලම් බඩු කඩේ කොල්ලාත් සංචිතයේ

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිණි - සැකසුම දමින්ද විජේසූරිය)

සිය වැලමිටේ ආබාධයෙන් සුවය ලබා සිටින දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට එක්ව සිටී. වේග පන්දු යවන්නන් වන මාකෝ ජැන්සන් සහ ජෙරල්ඩ් කොඑට්සි දෙදෙනාවත් දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ මාස කිහිපයකට පසුවය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ඉලක්ක කරමින් සිටින කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය මේ මස 27 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වෙයි. 

පසුගිය ඔක්තෝබර් මාසයේදී අයර්ලන්තයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති එක්දින තරගයකදී පන්දුවක් රැකගැනීමට පැන්න ටෙම්බා බවුමා වැළමිටේ අස්ථි බිඳීමකට මුහුණ දුන්නේය. එතැන් සිට ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. බවුමා ක්‍රීඩා නොකළ හෙයින් බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒඩ්න් මාක්රම් වෙත පැවරුණු අතර එහිදී දකුණු අප්‍රිකානුවෝ 2-0 ක තරගාවලි ජයක් ලැබූහ. 

“එක දිගට ක්‍රීඩා කරලා නැති නිසා ටෙම්බා ටිකක් විතර චකිතයෙන් ඉන්නේ. ඒත් අපි අපේ කඳවුර ඇතුළෙ එයාට තරග තත්ත්වයන් නිර්මාණය කරලා දෙන්න කටයුතු යොදා තියෙනවා” යයි දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරු ෂුක්රි කොන්රඩ් මහතා පැවසීය. 

“කොහොම වුණත් ටෙම්බා ආපසු අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන නම් අපි ඉන්නේ හරිම සතුටින්. මොකද එයා ටික කාලයක් ටෙස්ට් ක්‍රිකට් ගහලා නැති නිසා දැන් එයා ඉන්නේ සෙල්ලම් බඩු කඩේකට ගිය කොල්ලෙක් වගේ” යයි පුහුණුකරුවා කීවේ සෙල්ලම් බඩු කඩේකට ගිය කුඩා දරුවකුට තිබෙන උනන්දුව, කුතුහලය මෙන්ම පෙර නොවූ විරූ යමක් කිරීමේ ආශාවද දකුණු අප්‍රිකානු නායකයාට ඇති බව ව්‍යංගයෙන් ප්‍රකාශ කරමිනි. 

“එයා ආපසු එන එක හරිම වැදගත්. පසුගිය ජනවාරි මාසයේදි මා ප්‍රධාන පුහුණුකරු ධූරය බාරගත්තාම, මමයි එයාව නායකයා බවට පත්කළේ. අපි ඉතාමත් හොඳින් එකට වැඩ කළා” යයි ද ෂුක්රි කොන්රඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී ජයග්‍රහණ ප්‍රතිශතය අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පරතරය 1.39% කි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකාව (55.56%) තුන්වැනි ස්ථානයේත් දකුණු අප්‍රිකාව (54.17%) පස්වැනි ස්ථානයේත් සිටිති.

 
දකූණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය
ටෙම්බා බවුමා (නායකයා), ඩේවිඩ් බෙඩිංග්හැම්, ජෙරල්ඩ් කොඑට්සි, ටෝනි ඩි’සෝසි, මාකෝ ජැන්සන්, කේෂව් මහාරාජ්, ඒඩ්න් මාක්රම්, වියාන් මල්ඩර්, සෙනුරන් මුතුසාමි, ඩෑන් පීටර්සන්, කගීසෝ රබාඩා, ටි්‍රස්ටන් ස්ටබ්ස්, රයාන් රිකල්ටන් සහ කයිල් වර්රීන්


තරග කාලසහටන
1 වැනි ටෙස්ට් තරගය : නොවැ 27 සිට දෙසැ 01 දක්වා ඩර්බන් නුවරදී
2 වැනි ටෙස්ට් තරගය : දෙසැ 05 සිට දෙසැ 09 දක්වා ඛේබරා නුවරදී 


අදහස් (0)

සෙල්ලම් බඩු කඩේ කොල්ලාත් සංචිතයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.