Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා දුනිත් : ක්‍රීඩිකාව හර්ෂිතා

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා දුනිත් : ක්‍රීඩිකාව හර්ෂිතා

editorial - 2024 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ඉදිරි පෙළ පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක එකම මාසයක් තුළ අයි.සී.සී. ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූ පළමු අවස්ථාව මෙය විය. 

ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් දුනිත් මෙම සම්මානයට හිමිකම් කියා ඇති අතර හර්ෂිතා ඊට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. 

මින් පෙර එකම රටක ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක මෙම සම්මාන ද්විත්වයට හිමිකම් කියා අත්තේ එක් අවස්ථාවකදී පමණක් වන අතර ඉන්දියාවේ ජස්ප්‍රීට් බුම්රා සහ ස්මි්‍රති මන්දනා මේ වසරේ ජූනි මාසයේදී එහි හිමිකරුවෝ වූහ. 

දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ජේඩ්න් සීල්ස් පරාජය කරමින් දුනිත් මෙම සම්මානය දිනාගත් අතර හර්ෂිතා එය දිනාගත්තේ අයර්ලන්තයේ ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට් සහ ගැබී ලෙවිස් පරාජයට පත් කරමිනි. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සම්මානය දිනාගත් 5 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඇන්ජලෝ මැතිව්ස් (2022 මැයි), ප්‍රභාත් ජයසූරිය (2022 ජුලි), වනිඳු හසරංග (2023 ජූනි) සහ කමිඳු මෙන්ඩිස් (2024 මාර්තු) ඊට හිමිකම් කියා ඇත. 

මෙරටදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීම සඳහා මනා දායකත්වයක් සපයමින් තරගාවලියේ වීරයා බවට පත්වූ 21 හැවිරිදි දුනිත්, එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 108 ක් රැස්කරමින් කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය. ඊට කඩුලු 5 ක් දවාගත් අවස්ථාවක්ද ඇතුළත් විය. 

“ඇත්තටම මෙය මට ලොකු සතුටක් ගෙන දෙන ආරංචියක්. මෙම පිළිගැනීම ක්‍රීඩකයෙක් විධියට මම කරන කැපවීම දිගටම කරගෙන යෑමටත්, ක්‍රීඩාවේ විශිෂ්ටත්වය කරා ලඟා වීම සඳහා මගේ කණ්ඩායමට දායකත්වය ලබාදීමටත් තවත් ශක්තිය ලබා දෙනවා.” 

“මම මගේ කණ්ඩායමේ සාමාජිකයන්ට, දෙමාපියන්ට, මිතුරන්ට සහ ඥාතීන්ට ස්තූති කිරීමට කැමැතියි. මොකද මගේ ජයග්‍රහණය ඔවුන්ට ලොකු තෘප්තියක් ලබා දෙනවා කියලා මට විශ්වාසයි.  ඔවුන් හැමදාමත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.” 

“ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ලැබෙන මෙවැනි පිළිගැනීම් අප වගේ තරුණ ක්‍රීඩකයන්ට හොඳ උත්තේජනයක් වගේම ලොකු දිරිමත් කිරීමක් කියලා මම හිතනවා.” යැයි තමා ලැබූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් දුනිත් පැවසීය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මාසයේ අයි.සී.සී. ක්‍රීඩිකාව සම්මානය දිනාගත් දෙවැනි ක්‍රීඩිකාව හර්ෂිතා වන අතර ඇයට චමරි අතපත්තු අවස්ථා 3 කදී (2023 සැප්තැම්බර්, 2024 වසරේ මැයි සහ ජුනි) එම සම්මානයට හිමිකම් කියා ඇත. 

විසිහය හැවිරිදි හර්ෂිතා, අයර්ලන්ත සංචාරයේ විස්සයි-20 තරග 2 කදී ලකුණු 151 ක් රැස්කළේ 169.66 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එයට පළමු තරගයේදී පන්දු 45 කින් නොදැවී රැස්කළ ලකුණු 86 ද ඇතුළත් විය. එදින තරග 3 දී 82.69 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 172 ක් රැස්කිරීමට ඇය සමත් වූයේ ශතකයක්ද සමගිනි. 

“මෙම පිළිගැනීම ගැන මම හුඟක් සතුටු වෙනවා, එය මගේ වෘත්තීය ජීවිතය ඉහළ තලයකට රැගෙන යෑමක් ලෙසයි මම දකින්නෙ. ඇත්ත වශයෙන්ම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීමෙන් මගේ විශ්වාසය ඉහළ නංවාගන්න හැකි වේවි කියලා මම හිතනවා.” 

“මා වටා ඉන්න මගේ කණ්ඩායමේ සගයන්, පුහුණුකරුවන්, දෙමාපියන්, මගේ සහෝදරිය, සහෝදරයා, මිතුරන් සහ උපදේශකයන් නොමැතිව කිසි විටෙක මට මෙම ජයග්‍රහණය ලබාගත නොහැකියි. ඒ නිසා ඒ හැමෝටම ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.” 

“අයි.සී.සී. මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා මා සමගින් නිර්දේශ වූ අනිත් ක්‍රීඩිකාවන්වත් මම අගය කරනවා. ඔවුන් ඉතා දක්ෂයි. දිගටම ඒ වගේ ඉහළ දස්කම් දක්වමින් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි සම්මානය දිනාගැනීමෙන් අනතුරුව හර්ෂිතා පැවසුවාය. 

 


අදහස් (1)

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා දුනිත් : ක්‍රීඩිකාව හර්ෂිතා
  • Senarath Tuesday, 17 September 2024 09:08 AM

    ඔබ දෙදෙනාම ඉතාම හොඳින් ක්‍රීඩා කර රටට ගෞරවයක් ලබාදීමට ක්‍රියා කළා. ඒ වෙනුවෙන් මේ ඇගයීමට ලක්වීම ඉතාම කාලෝචිතයි. අපේ උණුසුම් සුබපැතුම් ඔබ දෙදෙනාටම...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.