Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් එන මුදල් නවතී

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් එන මුදල් නවතී

editorial - 2024 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් හා ගෙවීම් අත්හිටුවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව තීරණය කර තිබේ. එම දැනුම්දීම ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු කමිටුවේ විධායක සභාව වෙත යොමු කර ඇත්තේ  දෙසැම්බර් 10 වැනිදා දාතමින් ලූසාන් නුවර එහි මූලස්ථානයේ සිටය. එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පුහුණු වැඩසටහන් සදහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පිරිනමන මුදල්  අත්හිටුවීමක් නොකරන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සබදතා  - ඔලිම්පික් සහයෝගිතා හා ඔලිම්පිස්ම් 365 අධ්‍යක්ෂ ජේම්ස් මැක්ලිඕඩ් හා ආසියානු ඔලිම්පික් සභාවේ මහ ලේකම් හුසේන් අල් මුසාලම් යන මහත්වරුන්ගේ අත්සනින් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් තත්වය මැයෙන් එම ලිපිය මෙරටට යොමු කර ඇත.  එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව ව්සින් මතු කරන ලද ගැටළු කමිටුව විසින් නිසි ලෙස විසදා ගැනීමට අපොහෝසත්වී ඇති බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවබෝධවී තිබෙන බවයි.

 මෙම ගැටළු වය්‍යවස්ථානුකූලව විසඳාගැනීම තහවුරු කර ගන්නා තුරු ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන අරමුදල් අත් හිටුවන බව එම ලිපිය මගින් දන්වා තිබේ.

ඒ පිළිබදව ලංකාදීපය කළ විමසුමකදී  ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් මහතා පැවැසුවේ මෙම ඇතිවී තිබෙන තත්වයට ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ඇතුළු ව්ධායක සභාව වගකිව යුතු බවයි. 

මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් ලබාදී තිබෙන නිර්දේශ  ඔහුගේ බලපෑම් මත ක්‍රියාත්මක කිරීම විධායක සභාව පැහැර හරිමින් සිටීම මෙම තත්වයට හේතුවී ඇතැයිද ඔහු පැවැසීය. ආසන්න වශයෙන් වසරක කාලයක් සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් ශ්‍රී ලංකාවට රුපියල්  මිලියන 100 සිට 200 දක්වා මුදල් ප්‍රදානය කෙරේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා හා සභාපතිවරයා අතර වසරකට වැඩි කාලයක් තිස්සේ හට ගෙන තිබෙන බව කියන විරසකය මේ වන විට උත්සන්නවී ඇතැයි වාර්තාවේ. ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් පරිපාලන අර්බුදයට හේතුවී ඇත්තේද එයයි.

 මෙම අර්බූදයට විසදුමක් සෙවීම සඳහා පසුගිය සිකුරාදා (13) රැස් වූ විශේෂ මහ සභා රැස්වීමේදී ඡන්ද 21- 01 කින් තීරණය වූයේ ලබන මාර්තු 31 වැනිදාට පෙර නිලවරණයක් කැඳවා වසර 2025 - 28 දක්වා පාලනය අලුත් විධායක සභාවකට කමිටුව බාරදිය යුතු බවයි.

සිකුරාදා පැවැති විශේෂ මහ සභා රැස්වීමට ආරාධනා ලබා තමන් සහභාගිවූවත් එහිදී ගත් තීරණ තමාගේ අනුමැතියෙන් තොරව සම්මත කළ බැවින් එම තීරණ තම ප්‍රතික්ෂේප කරන බව සුබ්‍රමනියම් මහතා පවසයි. ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය කැදවීමේ අවස්ථාව ඇත්තේ එළඹෙන 2025 දෙසැම්බර් මාසයේදී බව ඔහු පවසයි. 


අදහස් (0)

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් එන මුදල් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.