Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තිම තත්පරයේදී දසුන් බෙල්ල බේරාගනී
ලෝක කුසලාන ක්‍රිකට්

අන්තිම තත්පරයේදී දසුන් බෙල්ල බේරාගනී

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආවේණික ලක්‍ෂණ නැවත වරක් ප්‍රදර්ශනය කරමින් 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙතම පැවරීමට තේරීම් කමිටු නිලධාරීහු අද (20 වැනිදා) දහවල් තීරණය කළහ.

පිතිකරුවකු වශයෙන් දැක්වූ දැඩි අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ඉවත් කර ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවකු හෝ මැද පෙළ පිතිකරුවකු යෙදවීමට තේරීම් කමිටු නිලධාරීහු ඊයේ සවස මෙන්ම අද පෙරවරුවේදීත් සාකච්ඡා කරමින් සිටියහ. එහෙත් තේරීම් කමිටු නිලධාරීන් කිහිප දෙනකුගේම අදහස වී ඇත්තේ ආසියානු කුසලාන අවසන් තරගයේදී ලද ලැජ්ජා සහගත පරාජය හේතුවෙන් දසුන් පමණක් බිල්ලට දීම අසාධාරණ බවයි.

වසර දෙකකට වැඩි කාලයක් දසුන් එක්දින කණ්ඩායම මෙහෙයවමින්, එක්දින තරග 13 ක් එක දිගට ජයගත් බැවින් ලෝක කුසලාන තරගාවලියේදීත් නායකත්වය ඔහුටම බාරදිය යුතු යයි තේරීම් කමිටු සාමාජිකයන් කිහිප දෙනකු අදහස් දක්වා තිබේ.

කෙසේ වෙතත් තේරීම් කමිටුව හමුවේ ඇති අභියෝගය වන්නේ දසුන් පිතිකරුවකු වශයෙන් දක්වන අසාර්ථකත්වයයි.

ඔහුගේ අවසන් එක්දින තරග 15 දී දසුන් ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ ⋆, 1, ⋆, 5, 0, 5, ⋆, ⋆, 1, නොදැවී 14, 5, 24, 9, 2 සහ 0 ක් ලෙසිනි. ⋆ ලෙසින් සටහන් වන්නේ තරගය ජයගැනීම හේතුවෙන් දසුන් පන්දුවට පහර නොදුන් අවස්ථාවන්ය. ඒ අනුව සිය අවසන් එක්දින තරග 15 දීම දසුන්ගේ ලකුණු ලබාගැනීමේ සාරංශය සටහන් වන්නේ තරග 15 යි, ඉනිම 11 යි, ලකුණු 66 යි, සාමාන්‍යය 6.60 ක් ලෙසිනි.

එවන් තත්ත්වයක් යළි උද්ගත වුවහොත්, කණ්ඩායමේ 11 දෙනාගෙන් දසුන් එළියේ තබා වෙනත් ක්‍රීඩකයකුට නායකත්වය පැවරීමේ සැලසුමක් ද තේරීම් කමිටුවට ඇත. දසුන් මේවන විට පන්දුවට පහර දෙන්නේ අංක 7 ස්ථානයෙන් බැවින් කණ්ඩායම තේරීමේදී එය පහසු කාර්යයකි.

ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 වසරේදී සිදුවූයේ ද එයයි. වසර 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ගියේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙනි. එහෙත් ප්‍රහාරාත්මක පිතිකරුවකු වශයෙන් චන්දිමාල් අසාර්ථකවීම හේතුවෙන් නායකයා එළියේ තබා, තාවකාළික පදනමක් මත, කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට පවරන ලදි.
 
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන දිනාගන්නා අවස්ථාවේදී කණ්ඩායමේ නායකයා ලෙසින් වැඩ බලමින් සිටියේ ලසිත් මාලිංග වුවද තීන්දු තීරණ ගැනීමේදී එය තනිපුද්ගල මතයක් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කීර්තිමත් නායකයන් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස් යන සිව්දෙනාත් 2014 ජයග්‍රාහී කණ්ඩායමේ සිටියහ. පත්කළ නායකයා වූ දිනේෂ් චන්දිමාල් කණ්ඩායම් රැස්වීමේ සිටියේය.

මේ අතර එල්.පී.එල්. තරගාවලියේදී පාදයේ කලව පිටුපස මස්පිඬුවක් ඇදීම නිසා ආබාධයකට ලක්වූ වනිඳු හසරංග සුවය ලබමින් සිටින අතරවාරයේදී නැවත වරක් එය වැඩිවී තිබේ. ඒ අනුව ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් තවත් වෛද්‍ය පරීක්‍ෂණයක් අද කරන ලදි. එහි වාර්තාව ලබන සිකුරාදා ලැබීමට නියමිත අතර ඒ අනුව වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.

යම් හෙයකින් වනිඳු හසරංග කණ්ඩායමට එක් නොවන්නේ නම්, දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත කණ්ඩායමට එක්වනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් නම් නොකළ රටවල් අතුරින් තවමත් ඉතිරිව සිටින්නේ දකුණු ආසියානු රටවල් වන ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයයි. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියමය අනුව මේ මස 28 වැනිදාට පෙර ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායම් නම්කළ යුතුව තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විශාල ගැටළුවක් නැත්තේ 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතය සඳහා මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන ඇති බැවිනි. එබැවින් ඕනෑම මොහොතක, මූලික සංචිතයේ සිටින ක්‍රීඩකයන්ගෙන් ජාතික කණ්ඩායම තෝරා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අඟහරුවාදා (26 වැනිදා) ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරග මේ මස 29 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, ඔක්තෝබර් 3 වැනිදා ඇෆ්ඝනිස්ථානයට එරෙහිවත් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නගරයේදී පැවැත්වේ.


අදහස් (2)

අන්තිම තත්පරයේදී දසුන් බෙල්ල බේරාගනී
  • K Perera Wednesday, 20 September 2023 10:17 PM

    මේ අදහස තේරීම් කමිටුව වෙතටය.. දසුන් හිටියා හෝ නැතත් මෙවර ලෝක කුසලානයත් ශ්‍රී ලංකාව කුජීතව පරාජය වෙනවා. හැකිනම් පාසල්වලින් කණ්ඩායමක් තෝරලා යවන්න. එවිට පරාජය ලැජ්ජා සහගත වෙන්නේ නැහැ.

    Reply 0       0

    palitha Wednesday, 20 September 2023 10:43 PM

    මේ මොහොතේ සලකා බැලීම අනුව මේක නිවැරැදි තීරණයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.