Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අල්කසබා මැජික් මිලියන් කුසලාන දිනාගනී

අල්කසබා මැජික් මිලියන් කුසලාන දිනාගනී

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවරඑළිය තුරඟ තරග මාලාවේ (2018) තෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ශ්‍රී ලංකන් ගුවන් සේවා ‘මැජික් මිලියන් කුසලාන’ තරගය ජයගැනීමට ඉර්වාන් සිං විසින් මෙහෙයවන ලද අල්කසබා වෙළඹ සමත් වූවාය.

මීටර් 1800 ක දුරකින් සමන්විත වූ ‘මැජික් මිලියන් කුසලාන’ තරගය සඳහා සහභාගි වූ තුරඟුන් 9 දෙනා අතර සිටි එකම වෙළඹ වූ අල්කසබා ‘මැජික් මිලියන් කුසලාන’ තරගය ජයගැනීමට සමත් වූයේ ඉතා තියුණු තරගයකින් අනතුරුවය. එම තරගය ජයගැනීම වෙනුවෙන් අල්කසබා වෙළඹගේ සම හිමිකාරියන් වූ දීප්තිකා ජයකොඩි මෙනවියට සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මියට මැජික් මිලියන් කුසලාන සමගින් රුපියල් 530,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.

තරමක් ප්‍රමාද වී තරග ආරම්භ කළ අල්කසබා, තරගයේ මුල් මීටර 1000 පමණ නිමාවන විට කෙමෙන් කෙමෙන් සෙසු අසුන් එකිනෙකා පසුකර ඉදිරියට ඇදුණාය. අනතුරුව තවත් මීටර 500 ක පමණ දුරක් තරගයේ පෙරමුණේ ගමන් කළ මෙහෙරාන් අසු සමග කරට කර සටනක නිරත වූ අල්කසබා, අවසන් මීටර් 100 තුළදී මෙහෙරාන් අසුට සමාන්තරව ගමන් කළාය.

නරඹන්නන්ගේ නළලත රැළිනංවන සුළු අවසනායක් සමග ‘මෙහෙරාන්ට’ වඩා තත්පරයක් පමණ වේලාසනින් තරගය නිමාකළ අල්සකබා, ඉකුත් වසරේදී (2017) ‘මෙහෙරාන්’ හිමිකරගත් මැජික් මිලියන් කුසලාන තරගයේ ජය මේ වසරේදී (2018) තමන් සතුකර ගැනීමට සමත් වූවාය.

ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද ‘මෙහෙරාන්’ සහ ඒ. විෂ්වනාත් විසින් මෙහෙයවන ලද සෙලෙස්ටියල් ෆයර් අසු පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ. ඒ වෙනුවෙන් එම අසුන්ගේ හිමිකරුවන් වූ හසංග ජයරත්න මහතාට සහ ෆියර්ලස් අශ්වගාලට පිළිවෙලින් රුපියල් 250,000 ක් සහ 150,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ.

තවත් තියුණු අවසානයක් සහිතව නිමාවට පත්වූ තරගයක් ලෙස ‘ශිවන්ත තම්බයියා අනුස්මරණ කුසලාන’ තරගය හැඳින්විය හැකිය. චාර්ලමේන්, රොස්වල්ඞ් සහ ඇරබියන් ගෝල්ඞ් වැනි ප්‍රබල තුරඟුන් පසුපසට ඇද දමමින් එම තරගය ජය ගැනීමට ඒ. රාමු විසින් මෙහෙයවනු ලැබූ ‘ඇරිකා වොන්ඩර්’ සමත් විය. තුරඟුන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් මිලියනයක (1,000,000 ක්) මුදලක් පිරිනැමිණ.

මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ‘ස්පෝර්ටිං ටයිම්ස් කුසලාන’ තරගය සඳහා තුරඟුන් 8 දෙනෙක් සහභාගි වූ අතර ඉන් ජය ලැබීමට ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද ‘අනදර් ඒස්’ සමත් වූයේ තියුණු තරගයකින් අනතුරුව ‘ටෝපිඩෝ’ සහ ‘ඔනෝරියස්’ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් කරමිනි.

තුරඟුන් 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති ‘දැදිගම අභියෝග කුසලාන’ තරගය (මීටර 1400) ජයගැනීමට ප්‍රංශ ජාතික අසරුවකු වන චාල්ස් පර්කින්ස් විසින් මෙහෙයවන ලද ‘ක්‍රාබි’ සමත් විය. තුරඟුන් සිවුදෙනෙක් පමණක් සහභාගි වූ ස්පෝර්ටිං ස්ටාර් කුසලාන තරගයේදී ඒ. විෂ්වනාත් විසින් මෙහෙවනු ලද ‘ස්පිරිටඞ් ටච්’ ඉතා පහසු ජයක් ලැබූ අතර පෝනියන් සඳහා පැවැති ‘සන්ඬේ ටයිම්ස් කුසලාන’ තරගයේ (මීටර 1000) ජය එල්. රවී කුමාර් විසින් මෙහෙයවනු ලැබූ ‘සිටි ෂොට්’ විසින් දිනාගන්නා ලදි.

නුවරඑළිය තුරඟ තරග පිටියේදී ඉකුත් ඉරිදා (15 වැනිදා) පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු සහභාගි වූහ.

තුරඟා, අසරුවා සහ හිමිකරු යන අනු පිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

අල්කසබා, මෙහෙරාන් සහ සෙලෙස්ටියල් ෆයර් යන තුරඟුන් මැජික් මිලියන් තරගය නිමා කළ අයුරු...

 

සන්ඬේ ටයිම්ස් කුසලාන තරගය (මීටර් 1000)
1 සිටි ෂොට් - රවී කුමාර් - ලෝගනාදන් මහතා
2 සරුරා බෝයි - එස්. ප්‍රදීප් -  සුදාගර් මහතා
3 අරුන්දතී - කේ. සංජීවන් - එස්. පෙරියසාමි මහතා

 

දැදිගම අභියෝග කුසලාන තරගය (මීටර් 1400)
1 ක්‍රාබි - චාල්ස් පර්කින්ස් - ධනවර්දන ගුරුගේ මහතා
2 සූලු ෆැන්ටසි - එල්. දයාලන් - රියෙන්සි එඞ්වඞ්ස් මහතා සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
3 වේටිං ෆො ග්ලෝරි - කේ. සංජීවන් - හසංග ජයරත්න මහතා

 

ස්පෝටිං ටයිම්ස් කුසලාන තරගය (මීටර් 1400)
1 අනදර් ඒස් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
2 ටෝපිඩෝ - ප්‍රවීන් ෂින්ඬේ - අනුර දෙල්ගොඩ මහතා
3 ඔනෝරියස් - ඒ. විශ්වනාත් - ෆියර්ලස් අශ්වගාල

 

ශිවන්ත තම්බයියා අනුස්මරණ කුසලාන තරගය (මීටර් 1800)
1 ඇරිකා වොන්ඩර් - ඒ. රාමු - ඬේවිඞ් ඇන්තනී මහතා
2 චාර්ලමේන් - ප්‍රවීන් ෂින්ඬේ - ජේම්ස් මැතිව් මහතා
3 ඇවෙන්ටස් - එස්. සුගනාදන් - අයි. ආර්. ඉරුගල් බණඩාර මහතා

 

ශ්‍රි ලංකන් මැජික් මිලියන් කුසලාන තරගය (මීටර් 1800)
1 අල්කසබා - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි මෙනවිය සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
2 මෙහෙරාන් - ඉම්රාන් ඛාන් - හසංග ජයරත්න මහතා
3 සෙලෙස්ටියල් ෆයර් - ඒ. විශ්වනාත් - ෆියර්ලස් අශ්වගාල

 

ස්පෝටිං ස්ටාර් කුසලාන තරගය (මීටර් 1400)
1 ස්පිරිටඞ් ටච් - ඒ. විශ්වනාත් - ෆියර්ලස් අශ්වගාල
2 ගසාකි - චාර්ස් පර්කින්ස් - රියෙන්සි එඞ්වඞ්ස් මහතා සහ පූර්ණි එඞ්වඞ්ස් මහත්මිය
3 චාමිං ග්‍රේ - දිනේෂ් - දීප්තිකා ජයකොඩි මෙනවිය

ඡායාරූප - ශානුක අරවින්ද

තරගයේ විශේෂ අවස්ථා


අදහස් (0)

අල්කසබා මැජික් මිලියන් කුසලාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.