Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අල්ලස් කොමිසමේ කැඳවීම ඔලිම්පික් කමිටුව ඉවත දමයි

අල්ලස් කොමිසමේ කැඳවීම ඔලිම්පික් කමිටුව ඉවත දමයි

editorial - 2023 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එංගලන්තයේ පැවැති (2022) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවෙමින් සිටියදී එරටදී ශ්‍රී ලාංකික නිලධාරියෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ඊයේ (27) කළ කැඳවීමට ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රතිචාර නොදැක්වූ බව වාර්තාවේ.

 එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී පසුගිය වසරේ ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වුණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි වූහ. එහිදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගත්තේය. 

කෙසේ වුවත් ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේදී ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම අවධානය දිනා ගත්තේ එහිදී ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් 12 දෙනෙකු ‘බර්මින්හැම්’ නුවරදී අතුරුදන්වීම හේතුවෙනි.
 
එම තරග සංචාරයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්ය මණ්ඩල සහයක නිලධාරියෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන නිලධාරියෙකුද ඊට ඇතුළත් විය.

මෙම නිලධාරියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මකවූ අල්ලස් හෝ දූෂණ කොමිසම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී යන යටතේ සිදු කෙරෙන අදාළ විමර්ශනය සඳහා උත්තරයකට අදාළ ලේඛනද සමගින් කමිටුවේ විෂය දැනුමක් ඇති නිලධාරියෙකු ඊයේ (27) පෙරවරු 9ට කොළඹ ජාවත්ත, කැප්පොටිපොල පාර පිහිටි සිය කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසයි. එසේ වුවත් ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරියකු ඊයේ දිනයේ පෙනී නොසිටි බවද වාර්තාවේ. 

මේ සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවේ අදහස වී ඇත්තේ මෙම පැමිණිල්ලට පදනමක් නොමැති බැවින් කඩිමුඩියේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවයි.

මෙම පැමිණිල්ල ජාතික ඔලිම්පික් කමිටුව හා එහි ප්‍රධානින් අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් ගොතන ලද්දක් බැවින් ඉදිරියේදී නීති උපදෙස් ලබා ගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම වඩාත් සුදුසු බවට එහිදී කමිටුවේ මතය වී තිබේ.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැති උක්ත ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ලේඛනයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු කළමනාකරුවකු, කාර්ය මණ්ඩල සහයක නිලධාරියකු, ඡායාරූප ශිල්පියෙකු හා මාධ්‍යවේදීන් තිදෙනකුද ඇතුළත්ව සිටි බව වැඩිදුරටත් වාර්තා විය.

කොමිෂන් සභාවේ දූෂණ විමර්ශනය-4 ස්ථානාධිපති එම්.ඒ.ආර්. රණසිංහ මහතා විසින් ජාතික ඔලිම්පික් කමිටුවට මෙම කැඳවීම ඊයේ කර තිබුණි.


අදහස් (0)

අල්ලස් කොමිසමේ කැඳවීම ඔලිම්පික් කමිටුව ඉවත දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.