Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පන්දුවේදී මැතිව්ස්ගේ උත්සාහය ගිළිහෙයි
එල්.පී.එල්. - 2024

අවසන් පන්දුවේදී මැතිව්ස්ගේ උත්සාහය ගිළිහෙයි

editorial - 2024 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මහනුවර ‘ෆෝල්කන්ස්’ පිල දිනවීමට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ පිතිකරුවන් බලවත් උත්සාහයක නිරත වූ නමුත් අවසන් පන්දුවේදී මැතිව්ස් ව දුවද්දී දවාගත් තිසර පෙරේරා විසින් කොළඹ ‘ස්ට්‍රයිකර්ස්’ ලාව ලකුණු 02 ක සියුම් ජයක් කරා කැඳවාගෙන යන ලදි. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පස්වරුවේ පැවැති තරගයේදී ලබාගත් ජයත් සමගින් කොළඹ ක්‍රීඩකයෝ එල්.පී.එල්. ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ අත්කර ගත්හ. 

මහනුවර කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 197 ක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4 න් ලකුණු 18 ක් අවශ්‍ය වූ මහනුවර පිලට, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක් ලබාගත් නමුත් අවසන් පන්දුවේදී ජ්‍යෙෂ්ඨයා දුවද්දී දැවී ගියේය. 

අලංකාර පහර කිහිපයකින් ලකුණු 200 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 12 කට දැවී ගියේය. එතැන් සිට කොළඹ පන්දු යවන්නන්ට සිත්සේ තැලූ මහනුවර පිතිකරුවෝ 16 වැනි ඕවරය නිමා කළේ කඩුලු 3 කට ලකුණු 159 ක් ලබාගනිමිනි. එතැන් සිට මහනුවර ජයග්‍රහණයට පන්දු 24 කින් ලකුණු 41 ක් අවශ්‍යව තිබිණ. 

17 වැනි ඕවය යැවූ මතීෂ පතිරණ තරගයේ තාලය වෙනස් කළේය. 

17 වැනි ඕවරයේදී පන්දු 5 ක් ඇතුළත කඩුලු 3 ක් දවාගත් මතීෂ පතිරණගේ විස්මිත පන්දු යැවීම (26/4) නිසා මහනුවර පිල අන්ද මන්ද විය. වරෙක කඩුලු 3 කට 165 ක්ව තිබූ ලකුණු පුවරුව, මතීෂගේ පන්දු 5 න් පසුව කඩුලු 6 කට 165 ක් විය. 

සිය අවසන් ඕවරය ලකුණු 03 කට සීමාකරගත් තරුණ පන්දු යවන්නාගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝ මීටර 150 ඉක්මවා තිබිණ. පතිරණගේ ඕවර 4 නිමාවන විට මහනුවර කණ්ඩායම ඕවර 19 කින් ලකුණු 180 ක් ලබා සිටි නමුත් තරගය ජයගැනීමට නම් අවසන්  ඕවරයේදී ලකුණු 20 ක් අවශ්‍ය විය. තනිවම ඉදිරියට ගිය මැතිව්ස්, අවසන් ඕවරයේදී තනි අතින් කණ්ඩායම එතෙර කරවීමට උත්සාහ කළද ඔහු දුවද්දි දැවී යන විට පන්දු 14 කින් ලකුණු 33 ක් ලබා තිබිණ. 

කාසියේ වාසිය හිමිකරගත් මහනුවර ‘ෆෝල්කන්ස්’ නායක වනිඳු හසරංග කීවේ තණතීරුවේ ස්වභාවය නොදන්නා නිසා පළමුවෙන් පන්දු යවන බවයි. නායකයාවම දරුණු ප්‍රහාරයකට ලක්කළ ග්ලෙන් පිලිප්ස්ගේ (70) පිතිහරඹයට ස්තුතිවන්නට, කොළඹ ‘ස්ට්‍රයිකර්ස්’ ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්හ. 

ස්ට්‍රයිකර්ස්ලා වෙනුවෙන් අතිශය ප්‍රවේගවත් ආරම්භයක් ලබාගත් රමනුල්ලා ගුර්බාස් (20) සහ ඇන්ජලෝ පෙරේරා (38) පන්දු 21 කින් ලකුණු 50 ක් පුවරුවට එක් කළහ. පිට පිට හයේ පහර 3 කින් හසරංගගේ වැඩිමහල් සොහොයුරු චතුරංග ද සිල්වාට සංග්‍රහ කළ ගුර්බාස් පන්දු 10 කින් ලකුණු 20 ක් උදුරාගත්තේය. මේ අතරවාරයේදී ගුර්බාස්ට නොදෙවනි පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ පෙරේරාත් පන්දු 10 කින් නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය. 

ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වන විට කොළඹ පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 1 කට ලකුණු 68 ක් විය. ඇන්ජලෝ පෙරේරා දැවී ගිය පසුව ලකුණු ගලාඒමේ වේගය තරමක් පාලනය විය. එහෙත් එක් අන්තයකින් පිතිකරුවන් දැවී යද්දී, අනෙක් අන්තයේ සිටිමින් පන්දු යවන්නන් ගලග්‍රහයෙන් ගත් ග්ලෙන් පිලිප්ස් පන්දු 42 කින් ලකුණු 70 ක් ලබාගත්තේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසාලමිනි. වනිඳු හසරංගගේ තුන්වැනි ඕවරයේදී ශ්‍රී ලංකා නායකයාට හයේ පහර දෙකකින්ම සංග්‍රහ කළ පිලිප්ස්, වයිඞ් ලෝන්ග් ඕන් හරහා හසරංගට ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි. කෙසේ වෙතත් සිය අවසන් ඕවරයේදී කඩුලු දෙකක් දවාගත් හසරංග තමන්ගේ කීර්තිය ආරක්‍ෂා කරගත්තේය. 

 

කොළඹ ස්ට්‍රයිකර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ට 199 යි
(රමනුල්ලා ගුර්බාස් 20, ඇන්ජලෝ පෙරේරා 38, ග්ලෙන් පිලිප්ස් 70, ශදාබ් ඛාන් 23, චාමික කරුණාරත්න 13, ෂොරිෆුල් ඉස්ලාම් 43/2, දුෂ්මන්ත චමීර 40/3, වනිඳු හසරංග 37/2)

මහනුවර ෆෝල්කන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ට 197 යි
(දිනේෂ් චන්දිමාල් 12, ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 47, මොහොමඞ් හාරිස් 56, කමිඳු මෙන්ඩිස් 36, ඇන්ජලෝ මැතිව්ස් 33, මතීෂ පතිරණ 26/4)

- 213 


අදහස් (0)

අවසන් පන්දුවේදී මැතිව්ස්ගේ උත්සාහය ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.