Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් - ෂෙහාන් ශූරතා දිනාගනිති

අශාන් - ෂෙහාන් ශූරතා දිනාගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියැට්-ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාව සඳහා ශ්‍රී ලංකා මොටර් රථ ක‍්‍රීඩා රියදුරන්ගේ සංගමය සංවිධානය කරන තරගමාලාවේ තෙවැනි තරගාවලිය වූ ‘කැවර්ලි’ සුපර්ක්‍රෝස් තරගාවලියේදී මොටර් රථ අංශයේ ශූරයා ලෙස අශාන් සිල්වාත්, යතුරුපැදි අංශයේ ශූරයා ලෙස ෂෙහාන් සී. අධිකාරිත් සම්මාන දිනාගත්හ. මෙම තරගාවලිය පසුගිය ඉරිදා ඉබ්බාගමුවේ පාන්ගොල්ල යුද හමුදා කඳවුරේදී පැවැත්විණ.

මෙවර ස්ලාඩා තරගමාලාවේ අදියර දෙකක් නිමාවනවිට මෝටර් රථ අංශයෙන් සිවුවැනි ස්ථානයේ පසුවූ අශාන් සිල්වා දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවූ අරවින්ද පේ‍්‍රමදාස සහ ඉෂ්රාක් වහබ් පරදවමින් පෙරළිකාර ජයග‍්‍රහණයක් හිමිකරගැනීමට සමත් විය.

යතුරුපරුදි තරග අංශයෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවූ ඉන්දීය කී‍්‍රඩක කේ.පී. අරවින්ද් සහ පසුගිය වසරේ යතුරුපැදි අංශයේ ශූරයාවූ ගයාන් සඳරුවන් පරදවමින් මෙරට මෝටර් ක්‍රොස් ධාවනපථයේ නැගීඑන තරුවක් වන ෂෙහාන් සී. අධිකාරි පාන්ගොල්ල ධාවන පථයේදී ජයග‍්‍රහණය ලැබීම තවත් කැපීපෙනෙන සිදුවීමක් විය.

තරග ආරම්භයේ සිටම ෂෙහාන් අධිකාරි පළපුරුදු ධාවකයින් වූ අරවින්ද් සහ ගයාන්ට තමන් අසලටවත් ළංවීමට ඉඩනොදී සුවිශේෂී තරග රටාවක නිරතවූ අතර ඔහුට යම්තරමකට හෝ තරගයක් දුන්නේ ගයාන් සඳරුවන් පමණි. අවසන් තරගයේදී මේ ප‍්‍රවීන කී‍්‍රඩකයින් දෙදෙනාම ෂෙහාන් අධිකාරිට තියුණු තරගයක් දීමට උත්සාහ කළද එය ඔහුගේ ජයග‍්‍රහණය වැළැක්වීමට ප‍්‍රමාණවත් නොවීය. ෂෙහාන් ඔහු සහභාගිවුණු තරග තුනෙන්ම ජයග‍්‍රහණය ලැබීය.

කේ.පී. අරවින්ද් කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලියේදී ඔහු සහභාගිවූ කිසිදු තරගයකින් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට නොහැකිවීමද මෙදින දුටු සුවිශේෂී කැපීපෙනෙන සිදුවීමක් විය. ඔහු  සමග මෙම තරගාවලියට සහභාගි වූ අනෙකුත් ඉන්දීය කී‍්‍රඩකයා වූ හරිත් නෝවාට අවසන් තරගයේදී තුන්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලියේ තිබූ දැඩි තරගකාරීත්වය නිසාම මොටර් රථ සහ යතුරුපැදි අනතුරු ගණනාවක්ම සිදුවිය. යතුරුපැදි ධාවකයින් හය දෙනෙකුම මෙහිදී අනතුරට ලක්වූහ. අවසන් අදියරේ යතුරුපැදි සහ මෝටර් රථ තරග මෙම තරගාවලියට නැරඹීමට පැමිණි විශාල ප්‍රේක්ෂකයින් පිරිසකට අපූරු වින්දනයක් ලබාදීමට සමත්වූ අතිශය උණුසුම්  තරග දෙකක් විය.

මෙම තරගකාරිත්වය නිසාම අවසන් තරගයේ තෙවැනි ස්ථානයේ පසුවූ ජනක ඩයස්ගේ මෝටර් රථය තරගය අවසන්වීමට තරග වට දෙකක් පමණක් ඉතිරිව තිබියදී ධාවනපථයේ පෙරළීයාමෙන් අනතුරට පත්විය. අරවින්ද පේ‍්‍රමදාසගේ රථයේ ඉදිරිපස ටයරය පුපුරායාම හේතුවෙන් ඔහුට එතැන්සිට රිම් එකෙන් ගොස් තරගය අවසන් කිරීමට සිදුවිය.

ඒ අයුරින්ම අවසන් යතුරුපැදි තරගයේදී උණුසුම් තරග රටාවක නිරතවූ ඉන්දීය කී‍්‍රඩක කේ.පී. අරවින්ද් හා තවත් තරගකරුවෙකු යතුරුපැදි පිම්මකදී ගුවනේදී එකිනෙකා හා ගැටීමෙන් තුවාල ලැබීමද මෙම තරගාවලියේදී නරඹන්නන්ගේ දැඩි අවධානයට යොමු විය.

නාවික හමුදාව නියෝජනය කරමින් තරගවදින සඳරුවන් සොයුරන්ගෙන් ශානුක සඳරුවන් ඔහු සහභාගිවූ 125 සී.සී. කාණ්ඩයේ තරග දෙකෙන් ප‍්‍රථම ස්ථාන දිනාගැනීමට සමත්වූයේ ඔහු තම සොයුරා මෙන්ම අනාගතයේදී දක්ෂ ධාවකයකු වන බව සනාථ කරමිනි.

ටී.වී.එස්. කණ්ඩායම නියෝජනය කරන ඉෂාන් දසනායක, ජැක් ගුණවර්ධන, කසුන් තාරක, නිහාල් විජේරත්න, සමීර පේ‍්‍රමරත්න, යුද හමුදාවේ මිතුන් ජයසිංහ සිගේරා, සම්පත් කුමාර මෙම තරගාවලියේ ජයග‍්‍රහණ හිමිකරගත්හ.

පසුගිය වසරේ කැවර්ලි සුපර්ක්‍රොස් තරගාවලියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයා ලෙස කිරුළු පළන් අශාන් සිල්වා පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී සුපුරුදු දස්කම් පෙන්වමින් මෙවර ශූරයා බවට පත්වූයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින අරවින්දට සහ ඉෂ්රාත් වහාබ්ට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. තරග හතරකට සහභාගීවූ ඉෂ්රාත් වහාබ්ට මෙම තරගාවලියේදී හිමිවූයේ එක් ජයග‍්‍රහණයක් පමණි. එයද තුන්වන ස්ථානයයි. උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, දමිත් වීරසිංහ, අරවින්ද පේ‍්‍රමදාස, උෂාන් පෙරේරා ජයග‍්‍රහණ හිමිකරගනිමින් දස්කම් පෑ ධාවකයෝ වූහ.

මෙම තරගාවලියේ පැවැති එකම සුපර් මෝටාඞ් යතුරුපැදි තරගයට සහභාගී වූ ආනන්ද වෙඩිසිංහ සහ උදේෂ් වෙඩිසිංහ දෙසොහොයුරෝ එම තරගයේ පළමුවැනි සහ දෙවැනි ස්ථාන හමිකරගත් අතර කලකට පසුව ආනන්ද වෙඩිසිංහ සහභාගී වූ තරගයකින් ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමද විශේෂ සිදුවීමක් විය.

පෙරේදා දහවල් කාලයෙන් පසුව පතිත වූ වර්ෂාව හේතුවෙන් ධාවනපථය මඩවී දැඩි ලිස්සන ගතියකට පරිවර්තනය වීම හේතුවෙන් පත්වූ අනතුරුදායක බව නිසාම තරකරුවන්ට තම මෝටර් රථ සහ යතුරුපැදි අසීරුවෙන් හැසිරවීමට සිදුවිය. කෙසේවුවද පාන්ගොල්ල ධාවන පථය යතුරුපැදි තරග සඳහා වඩාත් සුදුසු අන්දමට සකසා තිබූ බව තරග සංවිධායකයෝ ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය, (ස්ලඩා) සමග එක්ව පස්වැනි වරට සංවිධානය කෙරුණු මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස සියැට් කැලණි ටයර් සමාගම කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ ලංකාදීප සහ අද පුවත්පත් තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකත්වය දරයි.


අදහස් (0)

අශාන් - ෂෙහාන් ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.