Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ශූරී තරුෂි අවසන් පාසල් තරගාවලියට සූදානම්

ආසියානු ශූරී තරුෂි අවසන් පාසල් තරගාවලියට සූදානම්

editorial - 2023 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

නිමාවට පත් වූ ‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනු ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්නගේ මීළඟ ආසන්තම තරග වැදීම ලබන ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා  උළෙල බවට පත්ව තිබේ.

ආසියානු රන් පදක්කම්ලාභි ශූරීයක් බවට පත්ව සිටින මෙම ක්‍රීඩිකාව තවමත් 18 හැවිරිදි වියේ පසුවන වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහලේ ශිෂ්‍යාවක් වීමෙන් ඇයට තවදුරටත් පාසල් තරග සඳහා සහභාගිවීමේ අවස්ථාව හිමිව තිබේ.

වලල ඒ රත්නායක මැදි විදුහලේ උසස් පෙළ වානිජ විෂයන් හදාරා ඇය මෙම වසරේ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටියි. ඒ අනුව ඇගේ අවසන් පාසල් තරග වැදීම එළඹෙන සමස්ත ලංකා පාසල් උළෙල බවට පත්ව තිබේ.

එහිදී මීටර 800 හා මීටර් 400 යන බාලිකා ඉසව් දෙකටම ඇය තරග වැදීමට සූදානම්ව සිටියි. කොළඹ සුගතදාස පිටියේ දී ඔක්තෝබර් 23 වැනිදා සිට දින පහක් පුරා සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් මෙම දිනවල රටේ පළාත් කීපයකම උද්ගතව පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් තරගාවලිය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ වනවිට අවධානය යොමු කර තිබු බව වාර්තාවේ. ඒ පිළිබඳව අද (10) තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

වලල ඒ රත්නායක මැදි විදුහලේ ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න ජුලි මාසයේ තායිලන්තයේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සභාභාගි වීමට පෙර පැවැති මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට ද සම්මාන ලැබුවාය.

තරුෂි මෙම වසරේදී පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි රැසකදීම මීටර් 400 හා මීටර් 800 බාලිකා ඉසව්වලින් වාර්තා පිහිටුවමින් දස්කම් දක්වා තිබේ. ඒ හේතුවෙන් වසරේ මීටර් 400 ශූරිය ලෙසත් වසරේ දක්ෂතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙසත් අති ශූර සම්මාන හිමි කර ගෙන තිබේ.

තරුෂිගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා වසර 33ක් තිස්සේ තරුෂි ඉගෙනුම ලබන වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි. වසරේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතා හා අනුශූරතා බහුරතයක්ම පසුගිය වසර ගණනාවක් පුරා දිනා ගැනීමට සමත්ව ඇත්තේ ද මෙම විදුහලයි.

මීළඟට යෙදෙන ආසන්නතම ඔලිම්පික් උළෙල වන 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීම ඇගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. ඒ සඳහා අවම සුදුසුකම විනාඩි 1 ත්ත්තර 59.2කි. කෙසේ වුවත් තායිලන්තයේදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දී ඇය එහි රන් පදක්කම දිනා ගත් විනාඩි 2 තත්පර 00.66ක කාලය ඇගේ මෙතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාවයි.

මේ අතර ලබන මාර්තු මාසයේ දී පමණ යුරෝපයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන තරුෂිගේ එහි අරමුණ ඉසව්වේ පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමය. ඒ වන තෙක් මෙතැන් සිට ජාත්‍යන්තර තරග සහභාගිත්වයක් ඇගේ සිදු නොවන බව පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

‘‘ඇය මේ මොහොතේ විදේශගතවීමේ කිසිදු අපේක්ෂාවක් නෑ. දැනට තිබෙන එකම අපේක්ෂාව උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය හැදෑරීමයි. ඇයට මෙතෙක් තිබ්බ ආර්ථික ප්‍රශ්නවලට මේ වෙනකොට විසඳුම් ලැබෙමින් තිබෙනවා. ඒ හින්දා ඇය පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්න තවදුරටත් පුහුණුවීම් කරන්නේ ලංකාව ඇතුළෙ ඉඳගෙනම තමයි ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වන අතර ඇගේ උත්සහය හොඳින් ඉගෙන ගන්නයි.’’ සුසන්ත ප්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

තරුෂි කරුණාරත්න සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සූදානම් වන අතර එවැනි දස්කමක් කළ සෙසු ශ්‍රී ලාංකික ආසියානු ශූරතා රන් පදක්කම්ලාභිනිය ලෙස එවකට කොළඹ කාන්තා විදුහලේ සිසුවියක් වූ දමයන්ති දර්ශා හැඳින්විය හැකිය.


අදහස් (1)

ආසියානු ශූරී තරුෂි අවසන් පාසල් තරගාවලියට සූදානම්
  • Champa de silva Wednesday, 11 October 2023 12:28 PM

    දුව හොඳින් ඉගෙන ගන්න. ඔලිම්පික් පදක්කමක් ගන්නත් උත්සාහ කරන්න...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.