Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානුවෝ පහසුවෙන්ම දිනති
වි-20 ලෝක කුසලාන 2024

ඇෆ්ඝනිස්ථානුවෝ පහසුවෙන්ම දිනති

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලොව ප්‍රබලතම පන්දු යවන්නන්ගේ බලඇණියක් තමන් සතු බව නැවත වරක් තහවුරු කළ ඇෆ්ඝනිස්ථානුවෝ ගයනාවේදී පැවැති ලෝක කුසලාන තරගයේදී උගණ්ඩාව ලකුණු 125 කින් පරාජය කළහ. මේ උගණ්ඩා කණ්ඩායමේ මංගල ලෝක කුසලාන තරගාවලියයි. මෙම තරගය දකුණු ඇමරිකාවේ, ජෝර්ජ්ටවුන් නුවර පිහිටි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී  සඳුදා (03 වැනිදා) රාත්‍රියේදී පැවැත්විණ. 

කාසියේ වාසිය දිනාගත් උගණ්ඩා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ඇෆ්ඝනිස්ථානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රමනුල්ලා ගුර්බාස් (76) සහ ඊබ්‍රහිම් සද්රාන් (70) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක සම්බන්ධතාවක් එක් කළහ. මැද පෙළ පිතිකරුවන් කිහිප දෙනකු අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියද ඇෆ්ඝනිස්ථානුවන් ඉනිම අවසන් කළේ කඩුලු 5 කට ලකුණු 183 ක් ලබාගැනීමෙනි. 
වමතින් වේග පන්දු යවන ෆසල්හක් ෆාරුකිගේ (09/5) පන්දු යැවීම හමුවේ උගණ්ඩා පිලේ පස්වැනි කඩුල්ලත් ලකුණු 18 දී බිඳ වැටිණ. අවසානයේදී ඔව්හු ඕවර 16 ක් ඇතුළතදී ලකුණු 58 කට දැවී ගියහ. 

හතරේ සහ හයේ පහර 4 ක් බැගින් ගැසූ රමනුල්ලා ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 76 ක් ලබාගත් හෙයින් ඇෆ්ඝනිස්ථානුවෝ විශාල ඉලක්කයක් කරා යාමට සූදානම් වූහ. ඊබ්‍රහිම් සද්රාන්ගේ ලකුණු 70 පැමිණියේත් පන්දු 46 කිනි. ඊට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. දෙදෙනා අතර වූ ලකුණු 154 ක සම්බන්ධතාව දෙවැනි වන්නේ ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් අතර 2022 දී පැවැති ලකුණු 170 සම්බන්ධතාවට පමණි. 

කෙසේ වෙතත් පන්දු 4 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී යාමෙන් පසුව උගණ්ඩා පන්දු යවන්නෝ ලකුණු ගලා ඒම තරමක් දුරට පාලනය කරගත්හ. 

“අපි බලාපොරොත්තු වුණේ මේ වගේ ආරම්භයක් තමයි”

“අපි සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියලා වැදගත් වෙන්නේ නෑ. වඩා වැදගත් වෙන්නේ අපි සෙල්ලම් කරන්නේ කොහොමද කියලයි. පසුගිය දවස් වල අපි කරපු කැපකිරීම් වල ප්‍රයෝජන ආරම්භක පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරයෙන් වගේම පන්දු යවන්නන්ගේ දස්කම් වලිනුත් කැපී පෙනෙනවා” යයි ඇෆ්ඝනිස්ථානු නායක රෂීඩ් ඛාන් තරගයෙන් පසුව පැවසීය. 

තරගය පරාජය වූවත්, උගණ්ඩා නායක බ්‍රයන් මසාබාට එය සදානුස්මරණීය තරගයකි. 

“මේ අපේ මංගල ලෝක කුසලාන තරගයයි. ලොකු චකිතයක් තිබ්බා. ඒක ඉවර වෙච්ච එක නම් හොඳයි. අපි ඊළඟ තරගයේදී වඩාත් හොඳින් සෙල්ලම් කරනවා” 

“ලෝක කුසලාන තරගයකදී අපේ ජාතික කොඩිය ලෙලදෙන අතරේ අපේ ජාතික ගීයත් අහන්නට ලැබීම නම් අති විශේෂ අවස්ථාවක්. මේ දවස ජීවිත කාලය පුරාම මගේ මතකයේ තියේවි” යයි මසාබා පැවසීය.  

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 5 ට 183 යි
(රමනුල්ලා ගුර්බාස් 76, ඊබ්‍රහිම් සද්රාන් 70, මොහොමඩ් නබී 14, කොස්මස් ක්වේයුටා 25/2, බ්‍රයන් මසාබා 21/2)
උගණ්ඩාව - ඕවර 16 කදී සියලු දෙනා දැවී 58 යි
(රියාසත් අලී 11, රොබින්සන් ඔබූයා 14, ෆෂල්හක් ෆාරුකි 09/5, නවීන් උල් හක් 04/2, රෂීඩ් ඛාන් 12/2)

- 213


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානුවෝ පහසුවෙන්ම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.