ඉන්දීය සංචාරය
ඉන්දියාවට ලකුණු 2 ක තියුණු ජයක්
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බාහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් අතිශය තියුණු සටනකින් අනතුරුව ලකුණු 2 ක් ජයක් වාර්තා කළ ඉන්දියාව, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි. තරගය ජයගැනීම සඳහා අක්සර් පටේල් යැවූ අවසන් ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 ක් ලබාගත යුතුව තිබුණද, එක් හයේ පහරක් සමගින් එහිදී චාමික කරුණාරත්ණට සහ කසුන් රාජිතට ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
මුල් කඩුලු 5 ලකුණු 68 ක් තුළ බිඳ වැටුණ නමුත්, නායක දසුන් ශානක (45) සමග එක්වූ වනිඳු හසරංග (21) ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. පන්දු 10 කදී වාර්තා වූ වනිඳුගේ වේගවත් ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.
වනිඳුගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු රැස්කිරීම වේගවත් කළ දසුන්, පන්දු 27 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. පැයට කිලෝ මීටර් 155 ක වේගයකින් උම්රාන් මලික් එවූ පන්දුවකට එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට තැත් කිරීමේදී යුස්වේන්ද්‍ර චාහල් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බර චාමිකගේ කර මතට පටවමිනි.
ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි චාමික පන්දු 16 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 23 ක් ලබාගත්ද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. සිය මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ශිවම් මාවි ලකුණු 22 කට කඩුලු 4 ක් බිඳහෙළමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර උම්රාන් මලික් සහ හර්ෂාල් පටේල් කඩුලු 2 බැගින් දවාගනිමින් ඔහුට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස්කළහ. ලකුණු 94 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ ඉන්දීය කණ්ඩායම, 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට දීපක් හූඩා (නොදැවී 41) සහ අක්සර් පටේල් (නොදැවී 31) සමත් වූහ.
එහිදී පන්දු 23 කට මුහුණදුන් හූඩා දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර පන්දු 20 කදී වාර්තා වූ අක්සර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 16 වැනි ඕවරයේදී මහීෂ් තීක්ෂණට පිට පිටම හයේ පහර 2 කින් සංග්‍රහ කරමින් හූඩා සහ අක්සර් ප්‍රහාරය ආරම්භ කළහ.
කසුන් රාජිත යැවූ තරගයේ පළමු ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක් රැස්කළ ඉෂාන් කිෂන් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. පන්දු 29 කට මුහුණදුන් කිෂන් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී යන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් ලබා සිටියේය.
මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ශබ්මන් ගිල් ලකුණු 7 කට දැවී යෑමත් සමග ඉන්දීය ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. එතැන් පටන් තවත් ලකුණු 19 ක් ඇතුළත සූර්යකුමාර් යාදව් (7) සහ සංජු සැම්සන්ද (5) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා සමත් වූහ.
ලකුණු 46 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ඉන්දීය නායක හර්දීක් පාණ්ඩ්‍යා, ඒ වන විට තම කණ්ඩාම දෙසට හැරී තිබූ තරගයේ පීඩනය ප්‍රතිවාදීන් දෙසට හරවමින් තරමක් වේගයෙන් ලකුණු කරා ගියේය. චාමික කරුණාරතන පිට පිටම යැවූ පන්දු දෙකක් ඉදිරි පාදයේ සහ පසුපස පාදයේ ඩ්‍රයිව් පහර දෙකක් මගින් හතරේ සීමාව කරා යෑවූ පාණ්ඩ්‍යා, දිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 27 කදී ලකුණු 29 ක් ලබා සිටියේ හතරේ පහර 4 ක් සමගිනි.
ලකුණු පුවරුව
ඉන්දියාව
ඉෂාන් කිෂන් - ඇ.ධනංජය ප.හසරංග 37
ශුබ්මන් ගිල් - ක.මු. කළා ප.තීක්ෂණ 7
සූර්යකුමාර් යාදව් - ඇ.රාජපක්ෂ ප.චාමික 7
සංජු සැම්සන් - ඇ.මධුෂංක ප.ධනංජය 5
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.මෙන්ඩිස් ප.මධුෂංක 29
දීපක් හූඩා - නොදැවී 41
අක්සර් පටේල් - නොදැවී 31
අතිරේක 5
එකතුව ඕවර 20 කදී කඩුලු 5 කට 162
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
හර්ෂාල් පටේල්, ශිවම් මාවි, උම්රාන් මලික් සහ යුස්වේන්ද්‍ර චාහල්
කඩුලු වැටීම :
1-27(ගිල්), 2-38(යාදව්), 3-46(සැම්සන්), 4-77(කිෂන්), 5-94(පාණ්ඩ්‍යා)
පන්දු යැවීම :
කසුන් රාජිත 4-0-47-0, දිල්ෂාන් මධුෂංක 4-0-35-1, මහීෂ් තීක්ෂණ 4-0-29-1, චාමික කරුණාරත්න 3-0-22-1, ධනංජය ද සිල්වා 1-0-06-1, වනිඳු හසරංග 4-0-22-1
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ප.මාවි 1
කුසල් මෙන්ඩිස් - ඇ.සැම්සන් ප.හර්ෂාල් 28
ධනංජය ද සිල්වා - ඇ.සැම්සන් ප.මාවි 8
චරිත් අසලංක - ඇ.කිෂන් ප.මලික් 12
භානුක රාජපක්ෂ - ඇ.පාණ්ඩ්‍යා ප.හර්ෂාල් 10
දසුන් ශානක - ඇ.චාහල් ප.මලික් 45
වනිඳු හරසංග - ඇ.පාණ්ඩ්‍යා ප.මාවි 21
චාමික කරුණාරත්න - නොදැවී 23
මහීෂ් තීක්ෂණ - ඇ.යාදව් ප.මාවි 1
කසුන් රාජිත - දුවද්දී දැවී ගියා 5
දිල්ෂාන් මධුෂංක - දුවද්දී දැවී ගියා 0
අතිරේක 6
එකතුව ඕවර 20 කදී සියලු දෙනා දැවී 160
කඩුලු වැටීම :
1-12(පැතුම්), 2-24(ධනංජය), 3-47(අසංලක), 4-51(කුසල්), 5-68(භානුක), 6-108(හසරංග), 7-129(දසුන්), 8-132(තීක්ෂණ), 9-159(රාජිත), 10-160(දිල්ෂාන්)
පන්දු යැවීම :
හර්දීක් පාණ්ඩ්‍යා 3-0-12-0, ශිමව් මාවි 4-0-22-4, උම්රාන් මලික් 4-0-27-2, යුස්වේනද්‍ර චාහල් 2-0-26-0, හර්ෂාල් පටේල් 4-0-41-2, අක්සර් පටේල් 3-0-31-0