Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවේ තණතිලිවලට හැඩගැහෙන්න ඕනෑ
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දියාවේ තණතිලිවලට හැඩගැහෙන්න ඕනෑ

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද හයිද්‍රාබාද් නුවර සිට...)

පන්දු යවන්නන් ඉන්දියාවේ තණතිලිවලට අනුව හැඩගැසුනේ නැතිනම් ශ්‍රී ලංකාව තරග පරජය වීම වැළැක්විය නොහැකි යැයි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් 10 වැනිදා හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී දැඩි ලෙස පහර කෑමකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, මෙම තරගයේදී පාකිස්තාන පිතිකරුවන් හමුවේද ඊට නොදෙවෙනි පහර කෑමකට ලක් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු යැවීම සහ දුර්වල පන්දු රැකීම හමුවේ පාකිස්තානයට ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 345 හඹා යෑම සඳහා අවශ්‍ය වූයේ ඕවර 48.2 ක් පමණි.

“පන්දු යැවීමේදි අපි ගොඩක් වැරදි කළා. කලින් සැලසුම් කරපු විදියට අනුව තරගය තුළදී අපිට පන්දු යවන්න බැරි වුණා. පන්දු රැකීමෙදි පවා අපේ අතින් අවස්ථා කිහිපයක්ම මඟ හැරුණා. තරගය පරාජය වෙන්න ඒ වැරිදි ඍජුවම බලපෑවා. අනික මේ කණ්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ට අත්දැකීම් අඩුයි. ‍ගොඩක් පන්දු යවන්නො කළින් ඉන්දියාවෙ තණතිලිවල පන්දු යවලා නෑ.”

“මමයි වනිඳුයි තමයි මීට කළින් ඉන්දියාව පුරා ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට ඉන්නෙ. මම වුණත් හයිද්‍රාබාද් වලදි ක්‍රීඩා කරපු පළවෙනි තරගය තමයි මේක. ඒ නිසා මම හිතනවා අපේ කණ්ඩායමේ ඉන්න පන්දු යවන්නො තව තරග ක්‍රීඩා කරලා අත්දැකීම් ලබාගන්න ඕන කියලා. මම හිතනවා ඔවුන් ඉදිරි තරගවලදි දස්කම් අතරට පැමිණෙවි කියලා” යැයිද තීක්ෂණ පැවසීය.

දකුණු අප්‍රිකාව හමුවේ ඕවර 10 ක් යවමින් ලකුණු 95 ක් ලබාදුන් මතීෂ පතිරණ, මෙම තරගයේදී ඕවර 10 යවමින් පාකිස්ථානයට ලකුණු ලකුණු 90 ක් ලබාදුන්නේය. ඉන් ලකුණු 18 ක්ම වයිඩ් පන්දු යොමුකිරීමේන් පිරිනැමූ ලකුණු විය. දුනිත් වෙල්ලාලගේ යැවූ ඕවර 10 න් ලකුණු 62 ක් සහ දිල්ෂාන් මධුෂංක යැවූ ඕවර 9.2 න් ලකුණු 60 ක් උදුරා ගැනීමටද පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

“පසුගිය කාලෙ අපි දිගටම තරග දිනුවෙ පන්දු යවලා. ඒත් ලංකාව ක්‍රීඩා කරපු තණතිලිවලයි මෙහෙ තණතිලිවලයි ලොකු වෙනසක් තියෙනවා. මේ තණතිලිවල කඩුල්ල එල්‍ලයේ පන්දු යවන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම 4 ක් 6 ක් වදිනවා. ලංකාවෙ ගොඩක් තණතිලිවල පන්දුව හොඳට දඟ කැවෙනවා. ඒත් මෙහෙ එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි පිතිකරුවෝ ගොඩක් ලකුණු ලබාගන්නෙ.”

“මේ තණතිලිවල ලකුණු 350 ක් 360 ක් ලේසියෙන් ගහන්න පුළුවන්. ඉතින් ‍පන්දු යවන්නො විධියට අපි මේ තණතිලිවලට ගැලපෙන විදියට හැඩගැහිලා පන්දු යැව්වෙ නැත්නම් අපිට පිතිකරුවන්ව නවත්තගන්න බැරි වෙනවා. ශ්‍රී ලංකාවෙදි පන්දු යවන විදියට මේ තණතිලිවල පන්දු යවලා අපිට තරග ජයග්‍රහණය කරන්න බැහැ.” යැයිද තීක්ෂණ කියා සිටියේය.  

ආසියානු කුසලාන තරගාවලියේදී හටගත් කළ‍වේ ආබාධ තත්වයෙන් සුවය ලබා මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූ තීක්ෂණටද එහිදී පන්දුවෙන් කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි විය. ඕවර 10 ක් යවමින් ලකුණු 59 ක් ලබාදුන් ඔහුට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ සඳහන් කළේය.

“මම අත්තිම ඕවරවලයි, අලුත් බොලෙනුයි ඉනිම මැදදියි හැම වෙලොවෙම පන්දු යවනවා. ‍මගේ ඉලක්කය තියෙන්න කඩුලු 4 ක් 5 ක් දවාගෙන තරගය අනිත් පැත්ත හරවනවට වඩා ලකුණු ලබාගැනීමේ වේගය අඩුකරන ගමන් කඩුල්ලක් දෙකක් දවාගන්නයි. මේ තරගයෙදිත් මම උත්සාහ කළේ අඩුවෙන් ලකුණු ලබා දීලා තරගය පස්සට අදින්න. ඒත් අවාසනාවකට වගේ ඒක හරි ගියෙ නෑ.” යැයි තීක්ෂණ අවසන් වශයෙන් කීය.


අදහස් (1)

ඉන්දියාවේ තණතිලිවලට හැඩගැහෙන්න ඕනෑ
  • Punchi Eka Wednesday, 11 October 2023 07:21 PM

    අදහස නම් පංකාදුයි. නමුත් ඔය කියන හැඩ ගැසීම එන්නේ, ලෝක කුසලානේ ඉවර වුණාමද? නොදන්නා කමටයි අහන්නේ පන්දුව පතිතවෙන තැනටත් තණනිල්ල බලපානවාද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.