Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ග්‍රහණය දැඩිකරති

ඉන්දියානුවෝ ග්‍රහණය දැඩිකරති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය මව්බිමේදී ඉන්දියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියකින් පරාජය නොවී රැකගත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාර්තාව එන්න එන්නම බොඳ වෙමින් යයි. මෙම වාර්තාව දියවීම සිඞ්නි පිටියේදී සිදුවන්නට යාම එක අතකින් දෛවෝපගත සිදුවීමක්ද විය හැකිය.

චෙටේස්වාර් පුජාරාගේ දැවැන්ත ඉනිමත් රිෂාබ් පන්ට් සහ රවීන්ද්‍ර ජදේජා දෙදෙනා එක්ව ගෙඩනැංවූ වාර්තගත සම්බන්ධතාවත් නිසා සිඞ්නි පිටියේදී පැවැත්වෙන සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉන්දියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 622 ක් ලබාගත්හ. ඊට පිළිතුරු ලෙසින් කිසිවකු නොදැවී ලකුණු 24 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානුවෝ දිනය අවසන් කළහ.

ඕවර 10 ක් පුරා උස්මන් කවාජා (නොදැවී 05) සහ මාකස් හැරිස් (නොදැවී 19) සිය කඩුලු ආරක්‍ෂා කරගත් නමුත් කවාජා ලකුණු ලබාගැනීමට පෙර දුන් උඩපන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පන්ට් වෙතින් ගිළිහී ගියේය.

තරගය ජය පරාජයෙන් තොර අවසන්කර ගැනීමට නම් තවත් දින තුනක් පුරා පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවන නමුත් එයද තරගාවලිය බේරා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ඉන්දීයාව ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 598 ක් ඉදිරියෙන් සිටින අතර තරගාවලියේදීද 2-1 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී. එබැවින් ඉන්දියාව හමුවේ මෙම තරගාවලිය බේරා ගැනීමට නම් ඕස්ටේ්‍රලියාව මෙම තරගය ජයගත යුතුවම තිබේ.

ඇදහිය නොහැකි ලෙසින් ලකුණු අතර සිටින චෙටේස්වාර් පුජාරා (193) සිය ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදී නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය. මෙම තරගාවලියේදී මේ දක්වා පන්දු 1258 කට මුහුණ දී සිටින පුජාරා පැය 30 කට වැඩි කාලයක් පන්දුවට පහර දී තිබේ. පැය 9 කට වැඩි කාලයක් පුරා පන්දු 373 කට මුහුණ දුන් පුජාරා ඒවායින් 22 ක් හතරේ සීමාවට යැවීය.

පුජාරා දවාගත් නමුත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ හිසරදය එතැනින් නිමා වූයේ නැත. කඩුලු රකින්නා වූ රිෂාබ් පන්ට් සහ රවීන්ද්‍ර ජදේජා එක්ව ලකුණු 204 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් තරගයේ වාසිය ඕස්ට්‍රේලියාවෙන් ඉවතටම ඇද දැමූහ.

ඕස්ට්‍රේලියානු භූමියේදී පැවැති ටෙස්ට් තරගයකදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව ගොඩනැංවූ පන්ට් සහ ජදේජා එක්ව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනකු වූ ග්‍රෙග් මැතිව්ස් සහ ග්‍රැහැම් යැලොප් එක්ව වසර 36 කට පෙර පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමූහ. ලකුණු 159 ක් ලබාගත් රිෂාබ් පන්ට් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ශතකයක් ලබාගත් එකම කඩුලු රකින්නා වීමේ වාර්තාවද තමන් සතුකරගත්තේය.

ඉවක් බවක් නැතිව පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙසින් පළමු ටෙස්ට් තරගයට එක්වූ නමුත් රිෂාබ් පන්ට් අද දිනයේ අලංකාර පිතිහරඹයක නිරත වූයේය. කෙසේ වෙතත් සියල්ලම ඉන්දියානුවන්ගේ වාසියට සිදුවූයේත් නොවේ. හනුමා විහාරි ලකුණු 42 දී දැවී ගියේ විනිසුරු තීරණය විමසන රූපවාහිනී විනිසුරුවරයාටත් වරදින වූ බව සනාථ කරමිනි.


ඉන්දියාව පළමු ඉනිම  - කඩුලු 7 ක් දැවී 622 යි
(මයාන්ක් අග්‍රවාල් 77, චෙටේස්වාර් පුජාරා 193, විරාට් කෝලි 23, අජින්ක්‍යා රහනේ 18, හනුමා විහාරි 42, රිෂාබ් පන්ට් නොදැවී 159, රවීන්ද්‍ර ජදේජා 81, ජොස් හේසල්වුඞ් 105/2, නේදන් ලයන් 178/4)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කිසිවකු නොදැවී 24

 


අදහස් (0)

ඉන්දියානුවෝ ග්‍රහණය දැඩිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.