Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 2-0 කින් පෙරමුණ ගනී

ඉන්දියාව 2-0 කින් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

ලකුණු 325 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 40.2 ක් අවසානයේ ලකුණු 234 කට සීමා කිරීමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ යාදව් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගත් අතර නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහට අනගි සහායක් දුන් බුවනේෂ්වර් කුමාර් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් බිඳහෙළීය.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩග් බ්‍රාස්වෙල් පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 57 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය. ටොම් ලේතම් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, කොලින් මුන්රෝ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද ලබා සිටියදී දැවී ගියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රෝහිත් ශර්මා (87) සහ ශිකර් ධවාන් (66) සමත් වූහ. පන්දු 96 කදී වාර්තා වූ ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 67 කදී වාර්තා වූ ධවාන්ගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව අම්බටි රයිඩු (47) සමග එක්වූ විරාට් කෝලි (43) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. කෙසේ වුවත් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට ටෙන්ට් බෝල්ට් සහ ලොකී ෆර්ගියුසන් සමත් වූහ.
 
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 48) සහ කේදාර් ජාදව් (නොදැවී) පස්වැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 53 ක නොබිඳුණ සම්බන්ධතාවක් පිහිටුවමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙනයෑම සඳහා දායකත්වය සැපයූහ. එහිදී පන්දු 33 කට මුහුණදුන් දෝනි හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසීය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 324
(රෝහිත් ශර්මා 87, ශිකර් ධවාන් 66, විරාට් කෝලි 43, අම්බටි රයිඩු 47, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 48, කේදර් ජාදව් නොදැවී 22, ටේ‍රන්ට් බෝල්ට් 61/2, ලොකී ෆර්ගියුසන් 81/2)

නවසීලන්තය - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 234
(කොලින් මුන්රෝ 31, කේන් විලියම්සන් 20, රොස් ටේලර් 22, ටොම් ලේතම් 34, හෙන්රි නිකෝල්ස් 28, ඩග් බ්‍රාස්වෙල් 57, කුල්දීප් යාදව් 45/4, බුවනේෂ්වර් කුමාර් 42/2, යුස්වේන්ද්‍ර චාහල් 51/2)


-036

 


අදහස් (0)

ඉන්දියාව 2-0 කින් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.