Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි

ඉෂාන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉෂාන් කිෂන්ගේ වේගවත් ද්විත්ව ශතකය හමුවේ බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා (10 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 227 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. කෙසේ වුවත් පළමු සහ දෙවැනි තරග ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශයට හැකි විය.

වසර 51 ක ඉතිහාසයක් ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ ද්විත්ව ශතක 9 ක් පමණි. ඉෂාන් ලබාගත් ද්විත්ව ශතකය (210) ඒ අතරින් වේගවත්ම ද්විත්ව ශතකය ලෙස සටහන් විය. ආබාධයකට ලක්ව සිටින ඉන්දීය නායක රෝහිත් ෂර්මා වෙනුවට කණ්ඩායමට එක්වූ ඉෂාන්, පන්දු 126 කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. පන්දු 131 කින් ලකුණු 210 ක් ලබාගත් ඔහුගේ ඉනිමට හතරේ පහර 24 ක් සහ හයේ පහර 10 ක් ඇතුළත් විය.

ඉෂාන්ගේ ද්විත්ව ශතකයත්, විරාට් කෝලිගේ (113) ශතකයත් හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියානුවෝ, සිය ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 409 ක් ලබාගත්හ. පන්දු 91 කදී වාර්තා වූ කෝලිගේ 44 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය. ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 190 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 290 කි.

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාව එක්දින තරග ඉතිහාසයේ ඉහළම සම්බන්ධතා අතර හත්වැන්නද විය. එමෙන්ම මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම ලබාගත් ලකුණු 408, ඔවුන් එක්දින තරගයකදී ලබාගත් සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. ඉෂාන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් සිව්වැනි ඉන්දීය පිතිකරුවා වන අතර රෝහිත් ෂර්මා (3 වරක්), සචින් තෙන්ඩුල්කාර් සහ විරෙන්දර් සෙවැග් එක්දින තරගවලදී ද්විත්ව ශතක ලබාගත් සෙසු ඉන්දීය පිතිකරුවෝ වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 409 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 34 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. සකීබ් අල් හසන් පන්දු 50 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ශර්ධුල් ඨාකුර් ලකුණු 30 කට කඩුලු 3 ක්ද, අක්සර් පටේල් සහ උම්රාන් මලික් කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 409  
(ඉෂාන් කිෂන් 210, විරාට් කෝලි 113, වොෂිංටන් සුන්දර් 37, අක්ෂර් පතෙල් 20, ටස්කින් අහමඩ් 89/2, එබාදත් හොසේන් 80/2, සකිබ් අල් හසන් 68/2)

බංග්ලාදේශය - ඕවර 34 කදී සියලු දෙනා දැවී 182
(ලිටන් දාස් 29, සකීබ් අල් හසන් 43, යසිර් අලී 25, මහමදුල්ලා රියාද් 20, ටස්කින් අහමඩ් නොදැවී 17, ශර්දුල් ඨාකුර් 30/3, අක්සර් පටේල් 22/2, උම්රාන් මලික් 43/2)

- 036


අදහස් (0)

ඉෂාන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.