Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසම ක්‍රීඩිකාවගෙන් දැල්පන්දු සම්මේලනයට කොන්දේසි

උසම ක්‍රීඩිකාවගෙන් දැල්පන්දු සම්මේලනයට කොන්දේසි

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිංගප්පූරුවේදී ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන 12 එහි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට නිර්දේශ කළ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන වන තර්ජනී ෂිවලිංගම් ඇතුළත් නොවේ.

ඕස්ට්‍රේලියාවේ තරගාවලියකට දැනට සහභාගි වී සිටින තර්ජනී ෂිවලිංගම් පවසා ඇත්තේ තේරීම් තරග සඳහා තමන්ට සහභාගී විය නොහැකි නමුත් ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තමන් කැමති බවයි.

එහෙත් ඇගේ ඉල්ලීම ජාතික දැල්පන්දු තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කර තිබෙන අතර ජාතික දැල්පන්දු පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ තේරීම් තරග සඳහා සහභාගි නොවුණත් කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනී ඇතුළත් කර ගත යුතු බවයි.

මෙම තත්ත්වය හමුවේ ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකාරිණිය අතර මත ගැටුමක් මේ වන විට නිර්මාණය වී තිබේ.

මේ වන විට 43 හැවිරිදි වියේ පසුවන තර්ජනී ෂිවලිංගම් ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස තවදුරටත් සැළකුම් ලබන්නීය. ඇගේ උස ආසන්න වශයෙන් අඩි 6 අඟල් 11ක් වන අතර වසර 2009 සිට ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරයි.

එතැන් සිය ඇය ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලි පහක් හා ලෝක ශූරතා දැල්පන්දු තරගාවලි තුනකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

කෙසේවූවත් ඕස්ට්‍රේලියාවේ සිටින ඇය සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි විය හැක්කේ ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුවට පැමිණීමට හා නැවත පිටව යාමට ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් දරන්නේ නම් පමණක් බවයි.

මේ අතර අවසන් තේරීම් සිදු කරමින් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රීලංකා දැල්පන්දු කණ්ඩායම මේ වන විට නිර්දේශ කර අවසන්ව තිබෙන බැවින් ඇය ඊට ඇතුළත් කර ගන්නේ නම් නිර්දේශිත ක්‍රීඩිකාවක් ඉවත් කිරීමට සිදුවන බවද වාර්තා වේ.

වසර 2004 වවුනියාවේ පැවැති සමස්ත ලංකා තරගාවලියකට සහභාගි වෙමින් සිටියදී ඇගේ උස ගැන සැළකිලිමත් වූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා ඇය එහේ සිට කොළඹට කැඳවා ගෙන ආවේය. පසුව ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නොව ලෝකයේම දක්‍ෂතම පන්දු විදින්නියක් ලෙස දක්‍ෂතා දැක්වීමට සමත් වූවාය.

අවසන් වරට සිංගප්පූරුවේදී පැවති 11 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත් බැවින් මෙවර එය රැක ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දී සිටියි.

1985 දී ආරම්භ වූ ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පස් වතාවක් කුසලාන දිනා තිබේ. සිව් වතාවක් අනුශූරතාවද හා දෙවතාවත් තෙවැනි ස්ථානයද හිමි කර ගෙන තිබේ.

1989 (නවදිල්ලි), 1997 (සිංගප්පූරුව), 2001 (කොළඹ), 2009 (ක්වාලාලාම්පූර්), 2018 (සිංගප්පූරුව) ශ්‍රී ලංකාව එලෙස දිනාගත් ආසියානු කුසලාන තරගාවලි වේ.

ආසියානු කුසලාන තරගාලිය ජයගන්නා හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකට වසර 2023 ජූලි 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර දී පැවැත්වෙන 16 වන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබයි.

 


අදහස් (0)

උසම ක්‍රීඩිකාවගෙන් දැල්පන්දු සම්මේලනයට කොන්දේසි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.