Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසේන් බෝල්ට් රියෝ ඉලක්කය අල්ලයි

උසේන් බෝල්ට් රියෝ ඉලක්කය අල්ලයි

ශනුක අරවින්ද - 2016 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් නුවරදී පැවැති ඩයමන්ඞ් ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 200 ඉසව්ව පහසුවෙන්ම ජයගත් උසේන් බෝල්ට් රියෝ ඔලිම්පික් උළෙල සඳහා තමන් සූදානම් බව තහවුරු කළේය. වසර හතරකට ඉහතදී, මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකේදීත්, මීටර 100 ඞ 4 ඉසව්වේදීත් ඔලිම්පික් රන් පදක්කම් දිනාගත් ධාවන පථයේදීම (2012 ඔලිම්පික් උළෙලේදී) මීටර 200 ඉසව්ව තත්ත්පර 19.89 කින් නිමකළ 29 හැවිරිදි ජැමෙයිකානුවා පහසුවෙන්ම එම ඉසව්ව ජයගත්තේය.

පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය මාසයේදී පැවැති ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරගාවලියෙන් උසේන් බෝල්ට් ඉවත් විය. එතැන් සිට පසුගිය සතිය දක්වාම උසේන් බෝල්ට් තරග බිමට නොපිවිසීම නිසා ලන්ඩන් නුවරදී දිනාගත් මීටර 100 සහ 200 ඔලිම්පික් රන් පදක්කම්  රියෝ ඔලිම්පික් උළෙලේදී ආරක්‍ෂා කරගැනීමට ඔහුට හැකිවේද යන්න බොහෝ දෙනා තුළ තිබුණේ කුතුහලයකි.

මෙම ජයග‍්‍රහණය සොයා යාමේදී තමන්ගේ ආබාධය පිළිබඳ නොදැනුණු නමුත් රියෝ ඔලිම්පික් උළෙලට පොරතුව තවත් කළයුතු දේ බොහෝ ඇති බවත් උසේන් බෝල්ට් පැවසීය.

”මම නියමම තත්ත්වයට පත්වෙලා නෑ තමයි. තවත් කරන්න බොහොමයක් දේවල් තියෙනවා. ඒ කෝක වුණත් රියෝ ඔලිම්පික් තරගාවලියේදී මම හොඳ තැනක ඉඳීවි”

”මම මගේ කාලය අරන් වැඩකරගෙන යනවා. වැදගත්ම දේ තමයි මම මේ ඉසව්වෙන් පස්සේ ආබාධයකට ලක්නොවීම” යයි ලන්ඩන් ජයග‍්‍රහණයෙන් පසුව උසේන් බෝල්ට් පැවසීය.

පසුගිය සිකුරාදා පැවැති ඩයමන්ඞ් ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 200 ඉසව්ව ජයගැනීම සඳහා බෝල්ට් වාර්තා කළ තත්ත්පර 19.89 එම ඉසව්ව වෙනුවෙන් මේ වසරේදී වාර්තා වූ පස්වැනි වේගවත්ම තරග කාලයයි. එය ඔහු මෙවර ගිම්හානයේදී සහභාගි වූ පළමුවැනි මීටර 200 ඉසව්ව වුවත් කිසිදු අපහසුවකින් තොරවම ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකර යාමක් විය.

ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වලට සහභාගි නොවූවද ලන්ඩන් නුවරදී ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීමේ පදනම මත ජැමෙයිකානු ඔලිම්පික් කණ්ඩායමට උසේන් බෝල්ට්ගේ නම ඇතුළත් කෙරිණ.

”මේක නියම විනෝදාත්මක වැඩක්. මගේ ශක්තිය හොඳින් තියෙනවා. මේ වගේ තරග වලට සහභාගි වෙන්න මම කැමතියි”

”මගේ නියම වේගය ලබාගන්න නම් තව තවත් තරග වලට මා සහභාගි වෙන්න  ඕනේ. එහෙම කරලා රියෝ නුවරදී මා මගේ නියම තැනට එනවා” යයිද උසේන් බෝල්ට් පැවසීය.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100, මීටර 200 සහ මීටර 100 ඞ 4 ඉසව් තුනේදීම රන් පදක්කම් දිනාගත් උසේන් බෝල්ට්ගේ පළමු අරමුණ රියෝ ඔලිම්පික් තරගාවලියේදීත් සිය රන් පදක්කම් තුන රැකගැනීමයි.

රියෝ ඔලිම්පික් තරගාවලියේදී උසේන් බෝල්ට්ගේ ප‍්‍රබලතම ප‍්‍රතිවාදීන් වන්නේ ඇමරිකානු ජාතිකයන් වන ජස්ටින් ගැට්ලින් සහ ලෂ්වාන් මෙරිට් දෙදෙනාය. මීටර 100 ඉසව්වේදී මේ වසරේ වේගවත්ම කාලය වාර්තා කිරීමට ජස්ටින් ගැට්ලින් (තත් 9.80)  සමත්වූ අතර ලෂ්වාන් මෙරිට් මීටර 200 ඉසව්ව තත්පර 19.74 කින් නිම කළේ වසරේ වේගවත්ම කාලය වාර්තා කරමිනි.

මීටර 100 ලෝක වාර්තාවේ (තත් 9.58) හිමිකරුවා වන්නේ උසේන් බෝල්ට්ය.  රියෝ ඔලිම්පික් උළෙලේදී මීටර 200 වෙනුවෙන් දැනට පවතින තත්ත්පර 19.19 ලෝක වාර්තාව බිඳ දැමීමත් උසේන් බෝල්ට්ගේ තවත් අපේක්‍ෂාවකි.

 


අදහස් (0)

උසේන් බෝල්ට් රියෝ ඉලක්කය අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.