Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත කාන්තාවෝ ඩක්වර්ත් - ලුවිස් න්‍යායෙන් දිනති
විස්සයි-20 තරගාවලිය

එංගලන්ත කාන්තාවෝ ඩක්වර්ත් - ලුවිස් න්‍යායෙන් දිනති

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩැනියෙල් වයාත් (48) සහ ඇලිස් කැප්සි (52) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා ඕවර 17 කින් ලකුණු 186 ක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ (31 වැනිදා) එංගලන්තයේ හෝවේ නුවරදී පැවැති පළමු විස්සයි-20 තරගයේදී අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කළහ. වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, එංගලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 12 ක ජයක් අත්කර ගත්හ.
 
ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී එංගලන්ත ක්‍රීිඩිකාවෝ 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් එංගලන්ත පිතිකාරිණියෝ ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් අතට ගත්හ. මයියා බවුචර් (22) සහ ඩැනියෙල් වයාත් එක්ව, පළමු කඩුල්ල සඳහා පන්දු 45 කදී, ලකුණු 77 ක් එක්කළහ.

පළමුව බවුචර් දුවද්දී දැවී ගියාය. ලකුණු සංඛ්‍යාව 84 දී ඩැනියෙල් වයාත් ද දැවී ගිය නමුත් එතැනින් තරගය අතට ගත් ඇලිස් කැප්සි, පන්දු 27 කින් ලකුණු 51 ක් ලබාගත්තේ හතරේ පහර 5 කින් සහ පිට පිටම ගැසූ හයේ පහර 3 කින් ශ්‍රී ලාංකික පන්දු යවන්නනියන්ට සංග්‍රහ කරමිනි. නියමිත ඕවර 17 නිමාවේදී එංගලන්ත පිතිකාරිණියෝ කඩුලු 4 කට ලකුණු 186 ක් ලබා සිටියහ.

වර්ෂාව දෙවැනි වර පැමිණෙන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 187 ක ඉලක්කය හඹා යමින් සිටියහ. චමරි අතපත්තු පිටියේ සිටියදී කිසියම් බලාපොරොත්තුවක් ඉතිරිව තිබූ නමුත් ඇය පන්දු 10 කට පසුව ලකුණු 15 කට දැවී ගියාය. වර්ෂාව නිසා ඕවර 6 කින් පසුව තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතුව තිබුණේ කඩුලු 3 කට ලකුණු 55 ක් පමණි.


එංගලන්ත කාන්තාවෝ - ඕවර 17 කදී කඩුලු 4 ක් දැවී 186 යි
(මයියා බවුචර් 22, ඩැනියෙල් වයාත් 48, ඇලිස් කැප්සි 51, ෆ්‍රෙයා කෙම්ප් 20, හෙදර් නයිට් නොදැවී 23, චමරි අතපත්තු 25/1, ඉනෝකා රණවීර 35/1, කවීෂා දිල්හාරි 18/1)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 6 කදී කඩුලු 3 ක් දැවී 55 යි
(විශ්මි ගුණරත්න නොදැ 17, චමරි අතපත්තු 15, නිලක්ෂි ද සිල්වා 18, මහීකා ගෞර් 16/1, චාලි ඩීන් 06/1)

- 213


අදහස් (0)

එංගලන්ත කාන්තාවෝ ඩක්වර්ත් - ලුවිස් න්‍යායෙන් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.