Last Update  :  2025-02-21 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. පහළට වැටෙයි
පළමු පෙළ ක්‍රිකට්

එස්.එස්.සී. පහළට වැටෙයි

editorial - 2025 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේදී ‘බී’ තලයට නොවැටී සිටීම සඳහා තියුණු සටනක නිරත වූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මුල් ඉනිමෙන් පරාජය කිරීමට අසල්වැසි එන්.සී.සී. ක්‍රීඩකයන් සමත් වීමත් සමගින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට ඇද වැටී තිබේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සියලුම මූලික වටයේ තරග (8ක්) අවසන් වී ඇතත් අනෙකුත් සෑම ක්‍රීඩා සමාජයකටම තවත් තරගයක් බැගින් ඉතිරි වී තිබේ. 

කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැති මෙම තරගය අද (16 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය. 

එන්.සී.සී. පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 379 ක් ලබාගත්තේය. එස්.එස්.සී. පිලේ මුලික ඉලක්කය වූයේ මුල් ඉනිමේ ජයග්‍රහණයයි. සසිඳු මල්ෂාන් (108) ශතකයක් ලබාගත් නමුත් එස්.එස්.සී. පිලට මුල් ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 352 කි. තවමත් 22 හැවිරිදි සසිඳු මල්ෂාන් සහ 19 හැවිරිදි දිනුර කළුපහන එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් ලකුණු සංඛ්‍යාව 340 දී මල්ෂාන් දැවී යාමත් සමගින් ලකුණු 12 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටීමෙන් එස්.එස්.සී. පිලට මුල් ඉනිමේ ජය අහිමි විය. 

තරග 8 කින් ප්‍රසාද ලකුණු 41.72 ක් ලබා සිටින එස්.එස්.සී. පිලට තවත් කිසිම ලකුණක් එකතු කරගත නොහැකි නිසා ලබන වසරේ සිට ‘බී’ තලයේ තරගාවලියට යෑමට සිදුවනු ඇත. 

මේ වසරේදී අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 18 ක් ක්‍රීඩා කළ නමුත් එය ලබන වසරේ සිට කණ්ඩායම් 14 ක් දක්වා අඩු කෙරෙන බැවින්, මේ වසරේ තරගාවලියේදී ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ වල අවසන් ස්ථානයන්ට පත්වූ කණ්ඩායම් ලබන වසරේදී ‘බී’ තලයට තල්ලු කෙරෙනු ඇත. ‘බී’ තලයේ තරගාවලිය ද තුන්දින තරගාවලියක් වන නමුත් පළමු පෙළ තත්ත්වය නොමැති තරගාවලියකි. 

කණ්ඩායම් 24 ක් ක්‍රීඩා කළ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම තරගාවලියෙන් වසර කිහිපයක් තිස්සේ කණ්ඩායම් අඩුකරමින් එය වඩාත් තරගකාරී මට්ටමකට ගෙන ආ යුතු යයි ජාතික කණ්ඩායමේ සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෝ වසර ගණනාවක සිටම කියමින් සිටි කාරණාවකි. 

එස්.එස්.සී. පිලට බලවත්ම හානිය වූයේ මේ සති අන්තයේදී පැවැති බී.ආර්.සී. සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගයෙන් නුගේගොඩ ක්‍රීඩා සමාජය මුල් ඉනිමේ ජයක් ලබාගැනීමයි. එම ජයග්‍රහණය හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයේ සිටි නුගේගොඩ ක්‍රීඩා සමාජය 6 වැනි ස්ථානයට පැනගත් අතර පළමු ඉනිම පරාජය වූ නමුත් බී.ආර්.සී. ක්‍රීඩකයෝත් අවශ්‍යම ප්‍රසාද ලකුණු කිහිපයක් එකතු කරගනිමින් එස්.එස්.සී. පිල අභිබවා ගියහ. 

එස්.එස්.සී. පිල මෙන්ම තවත් ප්‍රබලතම පළමු පෙළ කණ්ඩායමක් වූ රාගම ක්‍රිකට් සමාජය සහ බදුරළිය ක්‍රිකට් සමාජයත් ‘බී’ තලයට වැටීමේ අවදානමට මුහුණ දී සිටිති. බදුරළිය ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ 8 වැනි ස්ථානයට පත්ව සිටින අතර රාගම ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ 9 වැනි ස්ථානයට වැටී සිටී. කෙසේ වෙතත් රාගම ක්‍රීඩා සමාජයට මෙන්ම බදුරළිය ක්‍රීඩා සමාජයටත් තවත් තරගයක් බැගින් ඉතිරිව තිබේ. 


එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 379 යි
එස්.එස්.සී. පළමු ඉනිම - 352 යි

(නිපුන් ධනංජය 10, ෂෙවොන් ඩැනියෙල් 35, දිමුත් කරුණාරත්න 44, නුවනිඳු ප්‍රනාන්දු 15, දසුන් ශානක 47, සසිඳු මල්ෂාන් 108, දිනුර කළුපහන 52, ප්‍රමෝද් මධුෂාන් 19, සම්පත් නිශ්ශංක 59/3, අසෙල් සිගේරා 56/3, ලසිත් ඇඹුල්දෙණිය 36/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 5 ට 337 යි
කමිල් මිෂාර 105, අහන් වික්‍රමසිංහ 53, නිරෝෂන් දික්වැල්ල 71, සහන් ආරච්චිගේ 13, කවීන් බණ්ඩාර නොදැවී 51, අසෙල් සිගේරා නොදැවී 29, නිපුන් ධනංජය 76/2)


අදහස් (0)

එස්.එස්.සී. පහළට වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.