Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එෆ්. ඒ. කුසලාන තරග 26 දා සිට

එෆ්. ඒ. කුසලාන තරග 26 දා සිට

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායම් 664 ක සහභාගිත්වයෙන් කාගිල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙම 26 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා නවක කණ්ඩායම් විශාල ගණනක් ඉදිරිපත්ව සිටී.


පසුගිය (2015) තරගාවලියේ සිට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් සහභාගිත්වයෙන් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 500 ක් ඉක්මවා ගියේය.


පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි ලීග 74 කින් මෙවර තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ. එම සම්මේලනය එම සියලු පාපන්දු ලීග (සංගම්) වෙත දැනුම්දී ඇත්තේ එම සියලු ලීගවල වාර්ෂික පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය ලෙස සලකා කටයුතු කරන බැවින් එෆ්. ඒ. කුසලාන තරගාවලියට කණ්ඩායම් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවයි.


ඒ අනුව මෙවර එෆ්. ඒ. කුසලාන තරගාවලියට අවම වශයෙන් කණ්ඩායම් පහක් වත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ලීගවලට මූල්‍ය ප්‍රතිපාදන දීම අත්හිටුවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කියයි. කෙසේ වුවත් එසේ කණ්ඩායම් පහක්වත් මෙවර තරගාවලියට සහභාගි කරවන ක්‍රීඩා සමාජ සඳහා රුපියල් ලක්ෂයක් බැගින් වන මුදල් ප්‍රතිපාදන මුදා හැරීමට පාපන්දු සම්මේලනය දැනටමත් තීරණය කර තිබේ.


පසුගියදා එෆ්. ඒ. කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී රිනවුන් කණ්ඩායම ගෝල 3-1කට පරාජය කරමින් යුද හමුදා ක්‍රීඩා සමාජය කුසලාන දිනා ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකාවේ එෆ්. ඒ. කුසලාන තරග ඉතිහාසය 1948 තෙක් ඈතට දිව යන අතර එකල එය හැඳින්වූයේ “ලංකා එෆ්. ඒ” කුසලාන තරගාවලිය ලෙසය.


එෆ්. ඒ. කුසලාන තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනක් දිනා ඇත්තේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයයි. ඒ 21 ක් වතාවකි. එසේ වුවත් එම ක්‍රීඩා සමාජය මෑත ඉතිහාසයේ ලබා තිබෙන පසුබෑම හමුවේ වසර 2001 න් පසු මේ දක්වා එෆ්. ඒ. කුසලාන දිනා ගැනීමට සමත්වී නොමැත.


තරගාවලියේ අවසන් වටය සඳහා කණ්ඩායම් 32 ක් ඉදිරියට පැමිණෙන අතර එහිදී ඒ සඳහා ප්‍රබල කණ්ඩායම් 16 ක් සෘජුවම සුදුසුකම් ලබති. මූලික වටයේ සිට දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණි කණ්ඩායම් අටක් හා ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ සිටින කණ්ඩායම් අටක්ද ඇතුළුව මුළු කණ්ඩායම් 32ක් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයට පිවිසෙති.


මෙම තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්ෂ හතක් හා අනු ශූරයන්ට රුපියල් ලක්ෂ පහක්ද වන මුදලක් ත්‍යාග ලෙස ප්‍රදානය කෙරේ.


1960 තරගාවලියේ අවසන් මහ තරගයේදී පී. ඩී. සිරිසේන සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් ගෝල හය මෙන්ම එම වසරේ තරගාවලිය පුරා ඔහු විසින් රැස් කළ ගෝල 24ක් වන ගණන තරගාවලියේ තවමත් නොබිඳී පවතින වාර්තා දෙකකි. එම අවසන් මහ තරයේදී සිරිසේනගේ ගෝල ප්‍රහාරය හමුවේ සොන්ඩර්ස් කණ්ඩායම වැල්ලවත්ත පෙහෙකම්හල් කණ්ඩායමට එරෙහිව ගෝල 7-2ක් ලෙස ජය ගෙන තිබේ.


පී. ඩී. සිරිසේන මහතා මෑතක් වනතුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිට මේ වනවිට විශ්‍රාමිකව සිටී. ඔහු වසර ගණනාවක්ම ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ මෙන්ම සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ.


සිරිසේන මහතාගේ පාපන්දු දිවියට උපහාර ලෙස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මාළිගාවත්ත නාගරික ක්‍රීඩාංගණය පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ලෙස නම් කරන ලදි. මෙම ක්‍රීඩාංගණය අදත් හඳුන්වන්නේ ඒ නමිනි.


●●●


අදහස් (0)

එෆ්. ඒ. කුසලාන තරග 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.