Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒකපාර්ශ්වික ඡන්ද විමසීමක්

ඒකපාර්ශ්වික ඡන්ද විමසීමක්

නාමල් පතිරගේ - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලේකම් ධුරය හැරෙන්නට සෙසු තනතුරු සඳහා ඒකපාක්ෂික ඡන්ද විමසුමක් පැවැති ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස ඡන්ද 24ක් ලබාගත් ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය පත්වූවාය.

ලේකම් ධුරය සඳහා වික්ටෝරියා මහත්මියගේ පාර්ශ්වයෙන් තරග වැදුණු චම්පා ගුණවර්ධන මහත්මිය වැඩි ඡන්ද 20 කින් පත්වූවාය. ඇගේ ප්‍රතිවාදිනිය වූ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ උපසභාපතිනි ශ්‍යාමා කුරේ මහත්මියට සිය සංගමයේ හා ගාල්ල දිස්ත්‍රික් සංගමයේ මනාපය පළවීමෙන් ඇයට ඡන්ද දෙකක් ලැබුණු අතර එහිදී චම්පා ගුණවර්ධන මහත්මිය ඡන්ද 22 ක් ලබා ලේකම් ධුරයට පත්වූවාය. ගුණවර්ධන මහත්මිය කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ ලේකම්වරියයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය අද (28) රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා දැල්පන්දු සම්මේලනයේ අනු සංගම් 33 න් 25 ක් සහභාගී විය. ඡන්ද විමසුම පැවැත්වෙන අතරතුර ප්‍රමාදවී පැමිණි මාතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ නියෝජිතවරියෝ ද ඒ සඳහා එක්වූහ.

ඊයේ පැවති නිලවරණයේදී විශේෂිතම සිදුවීම වූයේ සභාපති අපේක්‍ෂිකා සංජීවනී වනසිංහ මහත්මිය ඇතුළු ඇයට සහයෝගය දක්වමින් නාමයෝජනා ඉදිරිපත් කළ පාර්ශ්වය එය වර්ජනය කිරීමයි. ඒ අනුව ඔවුන් නිලවරණයට සහභාගී නොවූ අතර කෙසේ වුවත් සෙසු අපේක්‍ෂිකාවන් ඉදිරිපත්ව සිටි තනතුරු සඳහා නිලවරණය අවස්ථාවේදී මනාපය කටහඬින් විමසා සිටියේය.

ඒ අනුව සභාපති ධුරය සඳහා ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය ඡන්ද 24 ක් ද ලේකම් ධුරය සඳහා චම්පා ගුණවර්ධන මහත්මිය ඡන්ද 22ක් ද ලබා පත්වූහ. උපසභාපති ධුරය සඳහා කුමාරිහාමි තෙන්නකෝන් මහත්මිය ද උපලේකම් ධුරයට සුමිත්‍රා වනසිංහ මහත්මිය ද උපභාණ්ඩාගාරික ධුරයට හිරන්ති සේනානායක මහත්මිය ද පත්වූයේ මනාප 25ක් බැගින් ලබමිනි.

දැල්පන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාවට අනුව නිලවරණයෙන් පත්වන විධායක සභාව සභිකයන් හයදෙනකුට සීමා වන අතර ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයෙන් එක් නියෝජිතවරියක් නිල බලයෙන් ඊට ඇතුළත් කෙරේ.
පත්වූ නව නිලධාරි මණ්ඩලය වසරක නිල කාලයක් සඳහා පමණක් සීමා වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් නිලවරණය අධීක්‍ෂණයට එහි දැල්පන්දු ව්‍යාපෘති නිලධාරිනී තමරා පරගොඩ ලියනගේ මහත්මිය පැමිණ සිටියාය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි.පී. විජේරත්න හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරි සත්කුමාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා) සුනිල් ජයවීර හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන එන්.වී. අබේසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත නිලවරණ කමිටුව දැල්පන්දු නිලවරණය මෙහෙයවීය.

සංජීවනී වනසිංහ මහත්මියගේ පාර්ශ්වය ඊයේ පැවැති දැල්පන්දු සම්මේලනයේ නිලවරණ වර්ජනය කිරීමට ආසන්නතම සිදුවීම වූයේ ඔවුන් ඉදිරිපත් කළ විරෝධතාව පිළිගනිමින් අභියාචනා කමිටුව ලබා දුන් තීන්දුව බැහැර කරමින් ක්‍රීඩා ඇමැතිවරයා ඊයේ නිලවරණය කැඳවීමට ගත් තීරණයයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා දැල්පන්දු නිලවරණය සඳහා පත් කළ අභියාචනා කමිටුවේ සභාපති ධුරය දැරීය.

වෙළෙඳ සේවා දැල්පන්දු සංගමය මගින් ඉදිරිපත් කළ එම විරෝධතාවයෙන් පෙන්වාදී තිබුණේ දැල්පන්දු සංගමයේ සාමාජික දිස්ත්‍රික් හා අනු සංගම් තුනක් හැරෙන්නට සෙසු සියලු දිස්ත්‍රික් හා අනු සංගම් ක්‍රියාකාරී නොවන බැවින් දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී ඔවුන්ට ඡන්ද බලය ලබාදීමට තමන් විරුද්ධ වන බවයි. නිලවරණ කමිටුවට එය ප්‍රථමයෙන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශකර සිටියේ එය තමන් අතට පත්වූයේ විරෝධතා භාර ගැනීම අවසන් කිරීමෙන් පසුව බවයි.

මේ අතර විරෝධතාකරුවන් අභියාචනා කමිටුව ලබා දුන් වාර්තාවේ පිටපත් තොරතුරු දැනගැනීමේ පනතේ අයිතීන් යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර සිටි බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු උපසභාපතිනිය ද වන ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මේ වනවිට ආසියානු දැල්පන්දු සම්මේලනයේ උපසභාපතිනිය ලෙසත් කටයුතු කරයි. මීට ප්‍රථම අවස්ථාවකදී ඇය එහි සභාපතිනිය ලෙසත් (2013-15) කටයුතු කර තිබේ.

නව තනතුරට පත්වීමෙන් පසුව ඊයේ ‘ලංකාදීප’යට ප්‍රකාශයක් කළ ඇය මේ වනවිට අක්‍රීය තත්ත්වයෙන් පවතින බවට චෝදනා එල්ලවී තිබෙන සියලු දිස්ත්‍රික් සංගම් ක්‍රියාකාරී කිරීම සඳහා ඔවුන් ළඟටම ගොස් ඉදිරියේදී වැඩසටහනක් දියත් කරන බව පැවැසුවාය.

නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු දැල්පන්දු (වයස 13න් පහළ) ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම් කිරීමත් මෙරට දැල්පන්දු පුහුණුකරුවන් සිංගප්පූරුවේදී පැවැත්වෙන පුහුණු වැඩමුළුවකට සහභාගි කිරීමත් විනිසුරුවන් හා විනිසුරු පුහුණු උපදේශිකාවන් දැනුවත් කෙරෙන වැඩමුළුවක් කොළඹදී සංවිධානය කිරීමත් නව තනතුරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සිය ආසන්නතම වැඩසටහන් වන බව පැවැසුවාය.

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවිය කැඳවා ඉදිරියේදී ඇගේ තනතුරේ නිල කාලය පිළිබඳව තීරණයක් ගන්නා බවත් ලබන වසරේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව අලුතින් සූදානම් කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවැසුවාය.

මේ අතර සිය නිල කාලය ලබන වසරේදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය තෙක් පවතින බව තිලකා ජිනදාස මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මේ වනවිට බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන දැල්පන්දු පුහුණු වැඩසටහනකට සහභාගිවී සිටින ඇය ඊයේ පැවැති නිලවරණයෙන් පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් තවදුරටත් තනතුරේ රැඳී සිටීම පිළිබඳව අවසන් තීරණයක් දිවයිනට පැමිණීමෙන් පසුව ගන්නා බවයි.

 


අදහස් (0)

ඒකපාර්ශ්වික ඡන්ද විමසීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.