Last Update  :  2025-02-13 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්
වෝන් - මුරලිදරන් කුසලාන

ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්

editorial - 2025 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 75 විනාඩි 65 කින් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කළහ. මෙම ජයග්‍රහණයත් සමගින් 2-0 ක තරගාවලි ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෝන්-මුරලි කුසලානය තවදුරටත් තමන් සන්තකයේම රඳවා ගත්තේය. 

වසර 2019 දී ඕස්ට්‍රේලියාවේදී පැවැති තරගාවලිය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් වෝන් - මුරලි කුසලාන රඳවාගෙන සිටී. 

පළමු තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් උස්මන් කවාජා (නොදැවී 27) සහ මානස් ලැබුෂේන් (නොදැවී 26) ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

තරගයේ සිව්වැනි දිනය වූ අද පෙරවරුවේදී තරගය ආරම්භ වී විනාඩි 3 කින් කුසල් මෙන්ඩිස්ගේ ඉනිම අවසන් විය. එහෙත් ඒ අතරවාරයේදී මෙන්ඩිස් සිය අර්ධ ශතකයට අවශ්‍යව තිබූ ලකුණු 02 ලබාගත්තේය. මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව ළහිරු කුමාර සහ නිශාන් පීරිස් අතර පැවැති ලකුණු 14 ක සම්බන්ධතාවෙන් සිදුවූයේ ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය ලකුණු 75 ක් දක්වා ඇදී යාම පමණි. 

ටෙස්ට් තරග දෙකක ඉනිම දෙකකින් ලකුණු 1068 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 75 ක ඉලක්කය කජ්ජක් නොවීය. ඔව්හු කාලයට වඩා වේගයෙන් ඉලක්කය කරා අවතීර්ණ වූහ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 14 කට පසුවය. 2011 දී මයිකල් ක්ලාක්ගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය කරනු ලැබීමෙන් පසුව 2016 දී සහ 2022 දීත් ශ්‍රී ලංකාවේදී වෝන් - මුරලිදරන් තරගාවලි පැවැත්විණ. 2016 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක ජයක් අත්කරගත් අතර 2022 තරගාවලිය 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය.
 
අද උදෑසන කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දුව රැකගත් ස්ටීවන් ස්මිත් ටෙස්ට් උඩපන්දු 200 ක් රැකගත්තවුන්ගේ සමාජයට එක්විය. ස්මිත්ට අමතරව, ටෙස්ට් තරග වලදී උඩපන්දු 200 කට වැඩියෙන් රැකගෙන ඇත්තේ ජැක් කලිස් (200), මහේල ජයවර්ධන (205), ජෝ රූට් (207) සහ රහුල් ද්‍රවීඩ් (210) පමණි. 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.