Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලිය 2-0 ක් ලෙය ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 297 ක් පමණි. මැද පෙළ පිතිකරු සොනාල් දිනූෂ පන්දු 56 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක් ලබා තරගය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියද, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අපොහොසත් විය.

තරගය ජයගැනීම සඳහා ජොස් කේන් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 18 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර ඒ වන විට ඔවුන් සතුව තිබුණේ එක් කඩුල්ලක් පමණි. කෙසේ වුවත් අවසන් ඕවරයේ පන්දු 6 ටම මුහුණදුන් දිනූෂට හතරේ පහර 2 ක් සමගින් එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නවෝද් පරණවිතාන (0) සහ කමිල් මිෂාර (15) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වේගපන්දු යවන ක්‍රීඩක ඉයන් කාලිස්ලි සමත් වූයේ කඩුලු කඩුලු රකින ක්‍රීඩක බැක්ස්ටර් ජේ’හෝල්ට්ගේ සහායද ඇතිවය. එහිදී පරණවිතාන මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවීයෑම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කෙසේ වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 123 කදී ලකුණු 115 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ මොහොමඞ් සමාෂ් (79) සහ නායක නිපුන් ධනංජය (54) ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් වූහ. පන්දු 75 කට මුහුණදුන් සමාෂ්, හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සැරසු අතර පන්දු 71 කදී වාර්තා වු ධනංජයගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 150 ක්ව තිබියදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා සමාෂ් තාවකාලිකව පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහුගේ නික්ම යෑමත් සමග පන්දු යැවීමේ වෙනසක් සිදුකරමින් හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ලයෑම් මාෂල් පන්දු යැවීම සඳහා කැඳවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඔලිවර් ඬේවිස් පියවර ගත්තේය.

ඬේවිස් යෙදූ එම උපක්‍රමය සාර්ථක කළ මාෂල්, තම ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දු වලදී පිට පිට කඩුලු 2 ක් දවාගනිමින් ලකුණු 151 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. එහිදී සමාෂ්ගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අවිෂ්ක තරිඳුට ආපයින්ම ක්‍රීඩාගාරය බලා ගමන් කිරීමට සිදුවූයේ මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවීයෑම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබූ ආගාදයෙන් ගොඩගත් චමිඳු විජේසිංහ, එතැන් පටන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් පන්දු 53 කදී වේගවත් ලකුණු 63 ක් රැස්කළේ හතරේ පහර 9 ක්ද සමගිනි. සොනාල් දිනූෂ සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 98 ක වේගවත් සමබන්ධතාවක්ද ගොඩනැගූ විජේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේය.

කෙසේ වුවත් ජෙරඞ් ෆ්‍රීමන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් විජේසිංහ දැවී යෑමත් සමග එම බලාපොරොත්තු අඩපණ වූ අතර ඔහුගේ දැවී යෑමන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි මොහොමඞ් සමාෂ්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, විලියම් සදර්ලන්ඞ්ගේ අගනා පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය. ඉනිමේ අවසන් භාගයේදී වේගයෙන් ලකුණු රැස්කළ සදර්ලන්ඞ්, පන්දු 91 කදී වාර්තා වූ සිය ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් අලංකාර කළේය.

ලැච්ලෑන් හියන් (නොදැවී 17) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 75 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමටද සදර්ලන්ඞ් සමත් විය. පන්දු 18 කදී වාර්තා වු හියන්ගේ ඉනිම හයේ පහරකින් සමන්විත විය.  

ඕස්ට්‍රේලියානු ඉනිමේ මුල් ඕවර 10 ලකුණු 39 කට සීමා කරමින් තරගයට සාර්ථක ප්‍රවේශයක් ලබාගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමිඳු විජේසිංහ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සෑම් ෆැනින්ස් ලකුණු 2 කටද, කෝරි හන්ටර් ලකුණු 15 කටද පිටියෙන් ඉවත් කළේය.
 
කෙසේ වුවත් දක්ෂ පිතිහරඹයක නිරත වූ කීගන් ඕට්ස්, පන්දු 100 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 95 ක් රැස්කරමින් අඩපණ වී තිබූ ඕස්ට්‍රේලියානු ඉනිමට නව ජවයක් එක් කළේය. නායක ඔලිවර් ඬේවිස් (52) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 81 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගු ඕට්ස්, කෙමෙන් කෙමෙන් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් ලබා සිටියදී රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ ඔහු අතටම අඩ පන්දුවක් දෙමින් ඬේවිස් දැවී යාමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි විලියම් සදර්ලන්ඞ් (115) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගු ඕට්ස්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කළේය.

 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ තියුණු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.