Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු පිල ගිය බස්රියට ගල් පහරක්

ඕස්ට්‍රේලියානු පිල ගිය බස්රියට ගල් පහරක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ඊයේ (10 වැනිදා) ගුවහටි ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගය නිමා වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය වෙත යමින් සිටියදී මාර්ගය අසල සිටි අයෙක් විසිකළ ගලක් වැදීමෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගමන් ගන්නා බස් රථයේ වීදුරුවක් බිදී තිබේ.

උතුරු ඉන්දියාවේ ගුවහටි නගරය අසලදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගෙවී ගිය මාස 2 තුළ මෙවන් සිදුවීමකට මුහුණදුන් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් සැප්තැම්බර් මස බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි හෝටලය වෙත යමින් සිටියදීද ඔවුන් මෙවැනිම සිදුවීමකට මුහුණ දුන්නේය.

“තරගය නිමා වීමෙන් අනතුරුව කණ්ඩායම හෝටලයට පැමිණෙමින් සිටියදී ගලක් වැදීමෙන් බස් රථයේ වීදුරුවක් බිඳීයාම නිසා අපි තැතිගැන්මකට පත් වුණා.” යැයි එම සිදුවීම සම්බන්ධයෙන් ඒරන් ෆින්ච් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණ. බස් රථයේ වීදුරුව බිඳී ගොස් තිබූ අයුරුද ඔහු සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයේ දක්නට තිබිණ.

වෙඩි තැබීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කම් ලාභියකු වන ඉන්දීය ක්‍රීඩා අමාත්‍ය රාජ්‍යවර්ධන් රාතෝර් මහතා පවසා සිටියේ වයස 17 න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා යොදා තිබූ ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දී තිබූ බවයි.

“මෙම සිදුවීමෙන් අපේ ආරක්ෂක විධි විධානවල මට්ටම මනින්න බැහැ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දී තිබුණේ වයස 17 න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ලබාදී තිබූ ආරක්ෂාවට සමාන ආරක්ෂාවක්.” යැයි එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

“විදේශික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ කණ්ඩායම්වල පෞද්ගලික ආරක්ෂාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා” යැයි අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබිණ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනක් අත්තඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

බස් රථයේ වීදුරුව බිඳී ගියද ඉන් කිසිදු ක්‍රීඩකයකුට තුවාල සිදුවූයේ නැති බවත්, බස් රථය වෙත පැමිණි ගල ක්‍රිකට් පන්දුවක් පමණ ප්‍රමණයකින් යුත් ගලක් වුවත් ඉන් ක්‍රීඩකයන් මහත් තැතිගැන්මකට පත්වූ බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිල වෙබ් අඩවියේ සඳහන් විය.

මේ වන විට කණ්ඩායම් දෙකම තරගය බැගින් ජයගෙන සිටීම නිසා දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර කණ්ඩායම් දෙකටම තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය ලබන සිකුරාදා (13 වැනිදා) හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතය.
 

- 036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු පිල ගිය බස්රියට ගල් පහරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.