Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කනිෂ්ඨ ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 7 ක්

කනිෂ්ඨ ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 7 ක්

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෙන්යාවේ නයිරෝබි නුවරදී මෙම අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනෙකුගේ කණ්ඩායමක් නිර්දේශවී තිබේ. 

විමලසේන පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද එම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ තිදෙනෙක් හා ක්‍රීඩිකාවෝ සිව්දෙනෙක් ඇතුළත් වෙති. ජාතික තේරීම් කමිටුවේ අවසන් අනුමැතියට යොමු කර තිබෙන මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙස මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිවරයකු වන ජගත් ඥානසිරි ද සිල්වා මහතා කටයුතු කරයි. 

උමංග සුරේන්ද්‍ර මහතා ඇතුළු පුහුණුකරුවන් තිදෙනකු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මණ්ඩලය ලෙස නිර්දේශවී තිබේ.

20 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා නයිරෝබි නුවරට රටවල් 150 කට වැඩි ගණනකින් මලල ක්‍රීඩා කණ්ඩායම් සහභාගිවීමට නියමිතය. වසර 2020 දී පැවැත්වීමට නියමිතව තිබී මෙම වසර සඳහා ඉදිරියට ගෙනා තරගාවලිය කල්යාමට ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය බලපෑවේය.

 කෙන්යාව පසුගිය කාලය පුරා කොවිඩ් වසංගතයෙන් බලපෑම් එල්ලවූ රටක් වුවත් ලෝක ශූරතා කනිෂ්ඨ තරගාවලිය යොදාගත් කාලසටහනට අනුව පැවැත්වීමට දැන් තීරණයවී තිබේ.

ලක්ෂ දෙකකට වැඩි කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් පසුගිය කාලය පුරා වාර්තා වූ කෙන්යාවේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 4000 කට ආසන්නවී තිබේ. පසුගිය ජූලි 31 වැනිදා දිනයේදී එරට වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 1259 ක් වන අතර මරණ ගණන 05 ක් විය.

මෙවර කනිෂ්ඨ ලෝක ශූරතාවලියේදී මීටර 4x400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවෙන් නිර්දේශ කර තිබේ. මීටර 100 හා මීටර 200 යන කාන්තා ඉසව් දෙකෙන්ම සුදුසුකම් ලබාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූයේ මේධානි ජයමාන්නයි.  මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සඳහා පසුගිය ජූලි 27 වැනිදා සුගතදාස පිටියේදී පැවති විශේෂ තේරීම් තරගාවලියේදී මීටර 400 කාන්තා හා පිරිමි ඉසව්වන්හිදී හොඳම තරග කාලයක් වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර තිබේ.

වසර 2020 මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතවූ කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරන පළමු අවස්ථාව මෙයයි. කෙසේවුවත් ඉන්දියාවේ ආරාධනාවක් අනුව පසුගිය මැයි මාසයේ පතියාලා නුවරදී පැවැති ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේය. 

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක් අවසන් වරට වසර 2018 දී පැවැත්වුණේ පින්ලන්තයේ ටෙම්පෙරා නුවරදීය. ඒ සඳහා ද ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කළේය.

ශ්‍රී ලංකාව එහිදී ද කිසිදු පදක්කමක් දිනාගෙන නොමැති අතර ප්‍රසාද ලකුණු හිමිකර ගත් රටවල් පෙළ ගැස්වීමේදී එක් ප්‍රසාද ලකුණක් ලැබීමෙන් 61 වැනි ස්ථානය ලැබීය. එහිදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් අටක් හා ලෝකඩ පදක්කම් හතක් දිනා ගැනීමෙන් හා ප්‍රසාද ලකුණු 155 ක් රැස් කිරීමෙන් පින්ලන්තයේ සත්කාරය දැරූ 2018 තරගාවලියේ ජයග්‍රාහකයා වූයේ ජැමෙයිකාවය.

කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායම

ක්‍රීඩකයෝ
ඉසුරු කෞෂල්‍ය බාන්ස් අබේවර්ධන (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය – මීටර 400 මීටර 4x400 මිශ්‍ර සහය), යූ.බී.එම්.ආර්. බණ්ඩාර (වෙන්නප්පුව වෑකඩ ම.වි. - මීටර් 4x400 මිශ්‍ර සහය) එච්.ආර්.එස් ජයසුන්දර (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි. මීටර 4x400)

ක්‍රීඩිකාවෝ
ශනිකා ලක්ෂානි (ගම්පහ සිරිකුරුස බාලිකා - මීටර 800) තරුෂි කරුණාරත්න (වලල ඒ. රත්නායක ම.වි. මීටර 800 – මීටර 4x400 මිශ්‍ර සහය), මේධානි ජයමාන්න (කොළඹ ලුම්බිණි විදුහල මීටර 100 – මීටර 200), සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (ගම්පහ සිරිකුරුස බාලිකා) බාලිකා මීටර 4x400 මිශ්‍ර සහය.


අදහස් (0)

කනිෂ්ඨ ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.