Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායමට
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්

කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායමට

editorial - 2025 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් වේග පන්දු යවන්නා වන කසුන් රාජිත එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලිය සඳහා එසෙක්ස් ප්‍රාන්තය සමගින් ගිවිසුම් අත්සන් කර තිබේ. ඔහු ගිවිසුම් අත්සන් කර ඇත්තේ ‘රොතේසේ ප්‍රාන්ත ශූරතාවලියේ’ ඉදිරියේදී පැවැත්වෙන තරඟ පහක් වෙනුවෙනි. 

මේ වන විට 31 හැවිරිදි කසුන් රාජිත, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 18 කට ක්‍රීඩා කරන ඇති අතර ඔහු ආකෘති තුනෙන්දීම ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ටෙස්ට් තරග 18 දී කඩුලු 55 ක් දවාගෙන සිටින කසුන් රාජිත, කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 29.58 ක ආකර්ෂණීය සාමාන්‍යයක් රඳවාගෙන සිටී. රාජිත පසුගිය මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයදී ලකුණු 56 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

අඩි 6 අඟල් 4 ක් උස, දකුණත් වේග පන්දු යවන්නා 2018 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ග්‍රෝස් අයිලට් හිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. එහිදී ඔහු ජේසන් හෝල්ඩර්, ක්‍රේග් බ්‍රැයිත්වෙයිට්, දේවන්ද්‍ර බිෂූ සහ ඩෙවොන් ස්මිත් ඇතුළු පිතිකරුවන් පස් දෙනකු දවා ගත් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ වත්මන් ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාය. රාජිත 2022 සිට 2024 දක්වා ක්‍රිස් සිල්වර්වුඩ් මහතා යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර දැනට පැවැත්වෙන ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේදී කොළඹ කණ්ඩායම නියෝජනය කරයි.
 
“කසුන් එසෙක්ස් පිල වෙනුවෙන් පිළිගැනීමට අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම ඔහු එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී දස්කම් දක්වනු ඇතැයි යන්න අපි බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි” යයි එසෙක්ස් ප්‍රාන්ත පිලේ වත්මන් අධ්‍යක්‍ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා කණඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එසෙක්ස් ප්‍රාන්තයේ නිල වෙබ් අඩවියට පැවසීය. 

“ඔහුගේ අත්දැකීම් සහ කුසලතා පිළිබඳව මා හොඳින්ම දන්නවා. අපට (එසෙක්ස් ප්‍රාන්ත පිලට) දැනටමත් සිටින විශිෂ්ට පන්දු යැවීමේ බලඇණියට කසුන්ගේ දස්කම් නිසැකවම උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා” යයි ද ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය. 

එසෙක්ස් පිල හා එක්වීම සම්බන්ධයෙන් කසුන් රාජිත සිය සතුට පළ කළේ මෙලෙසිනි. 

“මම වසර ගණනාවක් තිස්සේ එසෙක්ස් කණ්ඩායම දිහා බලාගෙන හිටියා. ඔවුන් සැමවිටම විශිෂ්ට හා විනෝදජනක ලෙසින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා”
“එසෙක් පිල සතුව සිටින ශක්තිමත් පන්දු යැවීමේ ඒකකයකට සම්බන්ධ වීමටත්, පිටියේදී ඔවුන්ට දායක වෙමින් කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා උදව් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා” 

“මෙම අවස්ථාව මට ලබා දීම ගැන ක්‍රිස් සිල්වර්වුඩ්ට මහතාට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ස්තූති කිරීමට කැමැතියි”යයි කසුන් රාජිත එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් වෙබ් අඩවියට පවසා තිබිණ. 

එසෙක් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන විට අංක 65 සඳහන් කමිසයෙන් සැරසෙන කසුන් රාජිත උදාවන සති අන්තයේදී වූෂ්ටර්ෂයර් පිලට එරෙහිව චෙම්ස්ෆර්ඩ් නුවරදී ක්‍රීඩා කිරීමට සූදානම් වෙමින් සිටී. 

එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලිය ලෝකයේ මුල්ම පළමු පෙළ ක්‍රිකට් තරගාවලියයි. එහි පළමු ශ්‍රේණියේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් තරග කරති. මෙවර (2025) තරගාවලියේදී තවමත් තරග 2 කට පමණක් ක්‍රීඩා කර ඇති එසෙක්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය හිමිකරගෙන සිටී. 


ඡායාරූප - එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් වෙබ් අඩවිය ඇසුරිනි

- 213


අදහස් (0)

කසුන් රාජිත එසෙක්ස් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.